31
මේ රටේ සියලු සංස්කෘතීන් රැකගෙන, සියලු ආගම් අදහන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කර, ඔවුන්ට තමන්ගේ ආගම නිදහසේ අදහන්න අවශ්‍ය වන පරිසරය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නිර්මාණය කර දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (17) තංගල්ලේදී පැවති ජාතික ජන බලවේගයේ මංගල රැලියට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“බුද්ධාගම පිළිබඳව අපේ ආණ්ඩුව නොසැලකිල්ලක් දක්වනවා කියලා සමහරු කියනවා. අපි බලයට ආවාම නුවර පෙරහර නතර කරනවා කියලා කියනවා. කවුද මේවා කියන්නේ? නිදන් වස්තු කඩපු අය. සංස්කෘතික අරමුදල විනාශ කරපු අය. සැතපෙන බුදු පිළිමයේ පපුව පළලා නිදන් වස්තු හොයපු අය. දුටුගැමුණු රජුගේ කඩුව හොයන්න තැන තැන පන්සල්, දේවාල කඩපු අය. පොඩි කාලේ ආසාවට දළ එකතු කරන්න ඇතුන් මරපු අය. මේ විනාශය කළ කණ්ඩායම් දෙකක් අපි ඉස්සරහ ඉන්නවා. මේ රටේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය සංරක්ෂණය කර අනාගත පරපුරට ආරක්ෂා කර දෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව මතක තියා ගන්න. අද අපේ රටේ පුරවැසියන්ට ඖෂධ මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා. ඒ පිටුපස තිබෙන්නේ කොමිස් ගැසීම්. රටට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙනත් තිබෙනවා. පසුගිය කාලේ ඇස්වලට දාන්න බෙහෙතක් ගෙනාවා. ඇස් භාගෙට පෙනෙන කෙනෙක් ඉස්පිරිතාලෙට ගියොත් බෙහෙත් දැම්මාම ඇස් සම්පූර්ණයෙන්ම නොපෙනීම ගියා. ඒවා තමයි මේ පාලකයන් රටට කළේ. මතක තබා ගන්න, ගුණාත්මක ඖෂධ අඩු මිලකට පුරවැසියන්ට දෙන්න පුළුවන් සැලැස්මක් අපි හදා තිබෙනවා. පගා ගන්න, කොමිස් ගහන්න,තමන්ට කීයක් හරි හොයා ගන්න පිරිසක් නෙවේ මේ වේදිකාවට පැමිණ තියෙන්නෙ. මේ රටේ ජනතාවට රජයකින් ඉටු වන සේවාව ශක්තිමත් කර දෙන්න අපට වගකීමක් පැවරී තිබෙනවා. මේ රටේ පළවෙනි වතාවට අපි එහෙම ආණ්ඩුවක් හදනවා.
අද දරුවන්ට අමතර පාසල් පොතක්, පැන්සලක්, පෑනක් ගන්නවා නම් ඒකටත් බද්දක් ගහනවා. අපි ඔබට සහතික වෙනවා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පළමු අය-වැයෙන්ම අධ්‍යාපන පොත් සහ උපකරණවලට ගසා ඇති බද්ද ඉවත් කරනවා කියලා. ළමයෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනෑ ද? දරුවන් ඉගෙන ගැනීම රටේ අනාගත ආයෝජනයක්. රෝග පරීක්ෂණ සඳහා ගෙවීමට තිබෙන වැට් බද්ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් මුළුමනින්ම ඉවත් කරනවා. කාටහරි ලෙඩක් වුණොත් ආණ්ඩුවටත් බද්දක් ගෙවන්න ඕනෑ ද? බලනකොට ඔබ ලෙඩ වෙන එකත් ආණ්ඩුවට වාසියක්. බඩගිනි වෙලා ආහාර වේලක් ගන්න ගියොත් ඒකටත් බද්දක් ගහනවා. මේවා කරන්න ආණ්ඩුව ආදායමක් හොයාගන්න ඕනෑ. ආදායම් හොයාගන්න පුළුවන්. බදු නොෙගවන සමාගම් විශාල ප්‍රමාණයක් මේ රටේ තිබෙනවා. සමහර සමාගම් කෝටි හයසිය ගණනක් බදු ගෙවීම පැහැර හැර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඒ අයට බද්ද නොගෙවා මාසයක්වත් ඉන්න ලැබෙන්නේ නෑ. බදු සරල කර අය කර ගන්න සැලැස්මක් හදනවා. එවිට ආණ්ඩුවට ආදායම් එනවා. එවිට ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන උපකරණවලට බදු ගහන්න ඕන නෑ. අපි මේ රටේ වංචාව සහ දූෂණය නතර කරනවා. සොරා ගත් ජනතාවගේ දේපළ පවරා ගන්න වැඩසටහනක් හදනවා. පළිගැනීමට කරන දෙයක් නොවේ. ඒ වැඩේ අපි කරනවා. අපට අවශ්‍ය ලෝකයත් එක්ක ඉස්සරහට යන දියුණු වූ රටක්. මේ රටට මේ විදියට ඉදිරියට යන්න බෑ. ලෝකය හමුවේ අපකීර්තියට පත්වූ රටක් අප ඉදිරියේ තිබෙන්නේ. එහෙනම් මේ රට දියුණු කරන්න ඕන. ධීවරයා මහ මුහුදට ගිහිල්ලා වැඩි මත්ස්‍ය අස්වැන්නක් ගොඩට ගෙනෙනවා නම් අන්න රටේ ආදායම වැඩි වෙනවා. අපි ධීවර කර්මාන්තය දියුණු කර එය රටේ ආර්ථිකය දියුණු කිරීමේ පංගුවක් හැටියට යොදා ගන්න අවශ්‍ය වන සැලසුමක් හදලා තිබෙනවා. අනෙක් පැත්තෙන් අලුත් ව්‍යාපාර, කර්මාන්ත පටන් ගන්න ඕනෑ. ඒ අය සොයන ආදායමෙන් පංගුවක් දෙන්න ඕන බදු හැටියට. එහෙම නැත්නම් කොහොමද ආණ්ඩුවට ආදායමක් එන්නේ. කර්මාන්ත විශාල ලෙස ප්‍රවර්ධනය වෙන්නේ නැත්නම්, ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර වර්ධනය වෙන්නේ නැත්නම්, දියුණු වෙන්නේ නැත්නම් රටක් දියුණු වෙන්නේ නෑ. තේ, රබර්, කුරුඳු වැනි අපනයන කර්මාන්ත දියුණු වෙන්නේ නැත්නම් රටක් දියුණු වෙන්නේ නෑ. අපි ඒ සඳහා අවශ්‍ය නීති හදලා දෙන්නම්. රේගු දෙපාර්තමේන්තුව ශුද්ධ කර දෙන්නම්. ලෝක වෙළෙඳපොළෙන් පංගුවක් හොයලා දෙන්නම්.
අපට මතකයි, සමහර පාලකයන් ජයග්‍රහණයෙන් පසු පොලිසියට නිවාඩු දුන්නා. ඒ විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙන්න, ගෙවල් ගිනි තියන්න. අපි මේ දේශපාලන සංස්කෘතියෙන් අපේ රට මුදාගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයේ පිහිටවූ පසු වෙනත් පාක්ෂිකයකුට නියපොත්තකින්වත් සීරීමක් නොවෙන්න කටයුතු කරනවා. අපට අනෙක් පාක්ෂිකයන්ගෙන් පළිගන්න වුවමනාවක් නෑ. අනෙක් පාක්ෂිකයා ගැන වෛරී චේතනාවක් අපේ ළඟ නෑ. ඒත් මේ රටේ සාධාරණය, යුක්තිය ඉටුකිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒවා කවුරුවත් පළිගැනීම් ලෙස අර්ථකථනය කරන්න එපා. පාස්කුදා ප්‍රහාරය සිදු කළ ඝාතකයන් නිදැල්ලේ ඉන්නවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඒ ගැන පරීක්ෂණ කර අපරාධකරුවන් අධිකරණය හමුවට පමුණුවනවා. අපේ රටේ ඉතිහාසය තුළ වැළලී ගිය ඝාතනයන් ගණනාවක් ඉන්නවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම වැනි අපරාධ. මේවා කිසිසේත්ම කාලයේ වැලි තලාවට යට වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ රටේ තිබුණේ රට වට්ටන, පාලකයන් ගොඩ යන ආර්ථිකයක්. රට දුප්පත් වන, පාලකයා පොහොසත් වන ක්‍රමයක්. අපි මේ රටේ පළමු වතාවට රට පොහොසත් වන ජනතාව සතුටින් ඉන්න ආණ්ඩුවක් හදනවා.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ටිල්වින් සිල්වා මහතා
“ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන විටම අපි දිනලා ඉවරයි. රනිල්, සජිත් විදියට එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා දෙපැත්තක ඉන්නවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ලක්ෂ 69ක් ගත්තා. අද පොහොට්ටුව සීසීකඩ විසි වෙලා. නාමල් පොහොට්ටුවේ නටුව උඩට වෙලා ඉන්නවා. කවුදෝ කියලා තිබුණා නාමල්ට තරගය තියෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ එක්ක කියලා. වෙනදා ජනාධිපතිවරණයේදී තිබුණේ ප්‍රධාන කඳවුරු දෙකක්. මේ පාර අමුතුයි. වැටෙන්නේ නැති එකම බලවේගය බවට ජාතික ජන බලවේගය පත්ව තිබෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.
තංගල්ල – බන්දුල පද්මසිරි සහ
ධර්මදාස සිරිවර්ධන – ගාල්ල දිස්ත්‍රික් සංචාරක