Home Politics News Room : මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් දිනවීමට පෙරමුණ ගන්නවා

News Room : මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් දිනවීමට පෙරමුණ ගන්නවා

1
0

මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරා ගෙනයෑමට පෙරමුණ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවසුවාය. ඇය මේ බව කියා සිටියේ ඊයේ (19) කොළඹ පැවැති පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක් වෙමිනි.

කෝකිලා ගුණවර්ධන මහත්මිය එහිදී මෙසේද පැවසුවාය:

“මෙවර බහුතර ඡන්දදායකයන් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බැවින් ජනාධිපතිවරණයේදී මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරා ගෙන යනවා. කාන්තාවන් පහුගිය කාලයේ වින්ද පීඩාව, දුක, වේදනාව දන්නෙ කාන්තාවෝ. අරගලයත්, කොවිඩ් වසංගතයත් එක්ක සිදු වුණු ආර්ථික කඩාවැටීමෙන් වැඩියෙන්ම පීඩාවට පත් වුණේ කාන්තාවෝ. ගෙදර විදුලිය නැති වෙනකොට, දවස් ගානකට විදුලිය කප්පාදු වෙන කොට, පෙට්‍රල් ටික ඩීසල් ටික ගන්න ගිය තමන්ගේ ස්වාමිපුරුෂයා පෝලිම්වල ඉන්න කොට, ගෑස් ටික හොයාගන්න බැරුව මාස ගණන් පීඩාවට පත් වෙන කොට කොළඹ මහල් නිවාසවල ආහාර උයන එකත් හීනයක් වුණා. දරුවන්ගේ ආහාර ටික හදාගන්න බැරුව ගියා. මහල් නිවාසවල හිටපු අය පීඩාවට පත්වුණ අත්දැකීම අපි විඳලා තිබුණා.

“හැමෝම ආර්ථික අර්බුදයෙන් රට ගොඩනඟන්න බැහැයි කිවුවා. විපක්ෂ නායකතුමාට පවා වැටුණු රට ගොඩගන්න එකතු වෙන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරාධනා කරද්දී, එතුමා ඒ අභියෝගය භාර ගන්න සූදානම් වුණේ නැහැ. සරත් ෆොන්සේකා මැතිතුමාටත් ආරාධනා කළා. ඒ කිසි කෙනෙක් ආර්ථික අර්බුදයෙන් රට බේරාගන්න, රටේ ජනතාව වෙනුවෙන් හිටගන්න, තමන්ගේ දේශපාලනය කැප කරන්න සූදානම් වුණේ නැහැ. තනි පුද්ගලයෙක් විදියට පාර්ලිමේන්තුවෙ හිටපු‍ රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණේ අපිත් සමඟ එකතු වෙලා ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීමට ඉදිරිපත් වුණ නිසයි අද රට මේ තත්ත්වයෙන් තියෙන්නේ. විවිධ අභියෝග, බාධක හමුවේ ජනාධිපතිතුමා නායකයකු හැටියට නොපැකිළ තීන්දු තීරණ ගත්තා. විශේෂයෙන් මට මතකයි විදුලි බිල වැඩි කරන වෙලාව. ඒක රටේ කාන්තාවන්ට බලපාන නිසා අපි කාන්තාවන් හැටියට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. එතුමා කිවුවේ එතුමා විශ්වාස කරන්න කියලයි. තාවකාලිකව රටේ ජනතාවට අවශ්‍ය තෙල් ටික, විදුලිය, බෙහෙත් ටික දෙන්න ඕනේ නිසා මිල වැඩි කළත්, ඉතා ඉක්මනින් නැවතත් විදුලි බිල තිබුණ තැනට ගේන්න කටයුතු කරනවා කියලා එදා එතුමා කිවුවා. කිවුවා වගේම ජනාධිපතිතුමා ඒ කාරණාව ඉෂ්ට කරමින් ඉන්නවා.

“අද සජිත් ප්‍රේමදාස මහත්තයාත්, අනුර දිසානායක මහත්තයත් වැට් බදු ගැන කතා කරනවා. රටේ ජනතාවට බදු බර වැඩියිලු. ඒ අයගේ ආණ්ඩුවක් ඇතුළේ බදු බර සම්පූර්ණයෙන්ම නිදහස් කරනවාලු. මට වෙලාවකට හිතෙනවා කුමාර දිසානායක මැතිතුමා ඉන්නෙ පාර්ලිමේන්තුවේද කියලා. පාර්ලිමේන්තුව හරහා වැට් බද්දෙන් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය අංශ නිදහස් කළා. මේ අය කතා කරන කොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ කාරණාව ඉෂ්ට කරලා ඉවරයි. බදු වැඩි කරන්න අපට සිද්ධ වුණේ රටේ එදිනෙදා වියදම් පවත්වාගෙන යන්නයි.

“රජයක් හැටියට රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් සියලු දේවල් වර්තමාන ජනාධිපතිතුමා මේ දුෂ්කර කාලසීමාව තුළ කර තිබෙනවා. රටේ කාන්තාවන් අතර විශ්වාසයක් තියෙනවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැහැදිලි දැක්මක් එක්ක කටයුතු කරන නායකයෙක් කියලා. මොන විදිහට මඩ ගහන්න හැදුවත්, බාධා කරන්න හැදුවත්, මම විශ්වාස කරන්නේ මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරා ගෙනයනවා.”

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here