22
ජනතාවට වග කියන දේශපාලනඥයන් ලෙස මේ අවස්ථාවේ රට ගැන සිතා තීන්දු ගන්නවා මිස, පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) කොළඹදී පැවති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය:
“අරගලය අවස්ථාවේ පාලනය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හරහා අර්බුදකාරි තත්ත්වයක් තුළ රට පාලනය කළ නොහැකි බව සජිත් ප්‍රේමදාසත්, ඔහුගේ පිරිසත් ජනතාවට අවධාරණය කර පෙන්වූවා. ජනතාවට වග කියන දේශපාලනඥයන් විදිහට මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවගේ පැත්තේ ඉඳලා තීරණ ගන්න අපට සිද්ධ වෙනවා. මේ වෙලාවේ අපේ දේශපාලන අනාගතය ගැන නොහිතා, රට ගැන හිතලා තීන්දු ගන්නවා මිසක් පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් පෙනී ඉන්න බැහැ. රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා නොයෙකුත් අපවාද අවලාද කරනවා. අප සියලු දෙනාම මේ වෙලාවේ රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා මිසක් අපේ දේශපාලන අරමුණු හා අනාගතය වෙනුවෙන් තීන්දුවක් අරන් නැහැ.
“මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් මම පෙනී සිටින්නේ ඇයි? රට වැටිලා තිබුණ තැනින් ඉදිරියට අරන් යන්න පුළුවන් වුනේ රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි. අරගල භූමියට ගිය සජිත් ප්‍රේමදාස මහත්තයා පහර කාගෙන ගිය හැටි අපි දැක්කා. ඒ කියන්නේ අර්බුධකාරී තත්ත්වයක් තුළ පාලනය ගෙන යෑමේ හැකියාවක් එතුමාටත්, එතුමාගේ කණ්ඩායමටත් නැහැ. 1961දී ජනතා විමුක්ති පෙරමුණට විශාල රැල්ලක් තිබුණා. 1971ත් 1887ත් ඒ වගේ රැලි තිබුණා. ඒවා රැලි විතරයි. අන්තිමට ඒ අය ආයුධ අතට අරන් කැරලි ගැහුවා. මේ වෙලාවෙත් ඔවුන් විශාල රැල්ලක් මවා පානවා. ඒත් ඔවුන්ගේ පරාජය සක්සුදක් සේ පැහැදිලියි. අනිවාර්යයෙන් තවත් මාස හයකින් ඔවුන් රට ඒ තැනට තල්ලු කරනවා. මේ වෙලාවේ නීතිය ආධිපත්‍යය රකින්න පුළුවන්, ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකත්වයක් තියෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ඒ හයිය තියෙන නිසයි අපි එතුමා වෙනුවෙන් පෙනී සිටින්නේ. තමන්ගේ පවුලේ දේපළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පරිත්‍යාග කරලා මේ විදිහට දේශපාලනයට ඉදිරිපත් වෙන්න පුළුවන් කාටද? රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒ කැප කිරීම අප අගය කරනවා. අද උද්ධමනය තනි ඉලක්කමකට ඇවිත්. අප තීරණය කළ යුතුයි අයි.එම්.එෆ්. ක්‍රියාවලිය තුළ ඉදිරියට ආපු ගමන, පාලන වෙනසක් තුළින් වෙනස් කරනවාද නැත්නම් ඉදිරියට ගෙනියනවාද කියලා.
“අලුත් පාලනය දෙන්නේ සජිත් ප්‍රේමදාසටද? සජබ ආණ්ඩුවකින් අයි.එම්.එෆ්. මානුෂික ගිවිසුමකට යනවලු. මේවා කරන්න පුළුවන්ද? එතුමා හැමදාම සුරංගනා ලෝක මවලා ජනතාව රවට්ටනවා.මානුෂීය හෝ කුමන ආකාරයකින් හෝ ගිවිසුම වෙනස් කරනවා කියන්නේ ගිවිසුම එතනින් නතර වෙනවා. ගිවිසුම ලත්තැන ලොප් වුනාම රටේ සාමාන්‍ය ආර්ථික ක්‍රමවේදය ඉදිරියට යන්නේ කොහොමද?අස්වැසුම නතර වෙනවා.රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් නතර වෙනවා. විශ්‍රාම දීමනා නතර වෙනවා. පොරොන්දු දේශපාලනය තුළ ජනාධිපතිවරයෙක් වෙලා මේ කිසිවක් ඉෂ්ට කරන්න බැහැ. මේ ගිවිසුමෙන් එළියට යෑම තුළ අපට ණය ආධාර දෙන රටවල් යටතේ ක්‍රියාත්මක සංවර්ධිත ව්‍යාපෘති සියල්ල ඇනහිටිනවා. ජයිකා ජපන් ආධාර මත ක්‍රියාත්මක සියලු දේවල් නතර වෙනවා. මේ ගිවිසුම නතර වෙනවා කියන්නෙම තෙල් ගෑස් පොලිම් ඇතිවෙලා ජනතාව අතර කළඹලයක් ඇති කරලා රට නැවතත් අරගලයකට යොමු කරනවා. අනිත් පැත්තෙන් ජවිපෙ අධිකරණ බලය ගමට දෙනවාලු. ඒ අය රට බංගලාදේශයක් කරන්නයි හදන්නේ. අදටත් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට නොහැකි වුණ එක ඛේදවාචකයක් කියලා ලාල් කාන්ත කියන්නේ ඒ නිසයි.”
සුභාෂිණී සේනානායක