25
චෞරතන්ත්රවාදය වෙනුවට ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ මාවනැල්ලේදී පසුගිය 18 වැනිදා පැවති ජන රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙලෙස ද කීවේය.
“අද රටේ ක්‍රියාත්මක වෙන්නේ බෙදා වෙන් කළ පාලනයක්. ජාතීන්, ආගම්, පක්ෂ, කුල, පන්ති වශයෙන් රට බෙදී තිබෙනවා. රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න අපි එකතු විය යුතුයි. සෑම ගමක් නගරයක්ම එකට එකතු කර ගත් දැවැන්තම දේශපාලන බලවේගය සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානයයි. ශ්‍රී ලාංකිකත්වය, සත්ජාතිකත්වය කේන්ද්‍ර කොටගෙන එකතු විය යුතුයි. ඒ එකතුවීමෙන් රට ගොඩනැඟීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න හැකියාවත්, ශක්තියත් අපට ලැබෙනවා.
අද වන විට රටේ ආර්ථිකයට විලංගු දමා තිබෙනවා. රටේ ආර්ථිකය ගජමිතුරු කොල්ලකරුවන්ගේ රජ දහනක් බවට පත්වෙලා. සාමාන්‍ය ජනතාවට ආර්ථීකය ශක්තිමත් වීමට සහන ලැබී නෑ. වර්තමාන ජනාධිපතිවරයා ප්රමුඛ රජය කටයුතු කරන්නේ ජනතාවගේ ආර්ථිකය කුඩා කර රට පාලනය කරන්න. අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වටින්නේ මහ පොළොවට පය ගහලා ජීවත් වන සාමාන්‍ය ජනතාව නෙවෙයි. ඔහුට වැදගත් වන්නේ රටේ ජීවත් වන සුපිරි පෝසතුන් පමණයි. ගජමිතුරු, අන්තදූෂිත දේශපාලන සංස්කෘතිය සහමුලින්ම අතුගා දමා සාමාන්‍ය ජනතාව රජ කරන යුගය අපි අනිවාර්යයෙන් බිහි කරනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම නිසා අලුත් ජනවරමින් බිහිවන ආණ්ඩුවට කිසිම දෙයක් කරන්න බෑ කියලා වර්තමාන ආණ්ඩුවේ පිරිස් පවසනවා. අපට රටක් ලෙස ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ ජනතා වරමගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ජනහිතකාමී ගිවිසුමකට ප්‍රවේශ වෙලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළා ණය ගෙවීම 2033 ආරම්භ කරන්න කියලා. නමුත් වැඩ බැරි ආණ්ඩුව එකඟ වෙලා තිබෙනවා 2028 ඉඳලා ණය ගෙවන්න.
රාජ්‍ය පාලනය තුළ අපනයන ක්ෂේත්රය විනාශ කළ, නිෂ්පාදන කර්මාන්තය විනාශ කළ, ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විනාශ කළ, පෞද්ගලික ව්‍යවසායකත්වය විනාශ කළ ආණ්ඩුව 2028 ඉඳලා රටේ ජනතාව මත බර පටවන්නයි සුදානම් වෙන්නේ. අනුප්‍රාප්තික ජනාධිපති ඔහුගේ පුද්ගලික මුදල්වලින් නෙවෙයි නේ ණය ගෙවන්නේ. මේ ණය ගෙවන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ කැප කිරීමෙන් නිර්මාණය වන ආර්ථික වර්ධනයෙන්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් අප හමු වුණා. එහිදී අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ප්‍රකාශ කළා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම නිර්මාණය වෙලා තිබෙන්නේ ජනතා ආශිර්වාදයක් නැති, ජනතා අනුමැතියක් නැති රට බංකොලොත් කළ කණ්ඩායමක් සමඟ කියලා. සැප්තැම්බර් මස 21 වෙනිදා නව පොදු ජන වරමකින් පොදු ජනතාවාදී ජනහිතකාමී නව සමඟි ජන සන්ධානයේ ආණ්ඩුවෙන් මානුෂ්‍යවාදී ගිවිසුමකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ප්‍රවේශ වෙනවා.
අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 50කට වැඩි දායකත්වයක් දෙන්නේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. එවැනි කර්මාන්ත දෙලක්ෂ හැටදාහක් කඩා වැටිලා. ඒ ගැන කාගේවත් අවධානයක් තිබ්බේ නෑ. අපි ඒ වෙනුවෙන් නඟපු හඬ නිසා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්න හැකි වුණා. නමුත් රජයට බැරි වුණා කඩා වැටුණු ව්‍යාපාරවල ව්‍යවසායකයන්ට ප්රාග්ධනය දෙන්න.
දේශපාලන පළිගැනීම්වලට ලක්වු හතළිස් දාහක වගේ පමණක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන්, අපි වෙනුවෙන් කැප වු හතළිස්දාහක් දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා තිබෙනවා. ඔවුන්ට රැකියා අහිමි වෙලා තිබෙනවා. දේශපාලන පළිගැනිම් නිසා අසරණ වු සියලු දෙනාටම සාධාරණය ඉටු කරන්න සමඟි ජන සන්ධාන රජයකින් කටයුතු කරනවා.
ආර්ථික මරඋගුලෙන් ජනතාව බේරා ගන්න අපේ කණ්ඩායම මහන්සි වෙලා වැඩ කරනවා. එ් දේවල් කරන්න පුළුවන් නිසා තමයි බලයක් නැතිව විපක්ෂයේ හිඳිමින් සක්වල හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කළේ. දුප්පත්භාවයෙන් අසරණ වූ ජනතාව ගොඩගැනීමට ජන සවියට වඩා එහා ගිය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන්න අවශ්‍ය කැප කිරීම මුලින්ම කරන්නේ මම. මන්දිර දේශපාලනය බැහැර කර රටේ ජනතාව ගොඩගන්න සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය කටයුතු කරනවා.”
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා
“මේ ජනාධිපතිවරණය කරුණු දෙකක් නිසා හරිම සුවිශේෂයි. එකක් බංකොලොත් රටක පවත්වන පළවෙනි ජාතික මැතිවරණය. දෙක ජනාධිපතිවරණයේදී හැමදාම සටන තියෙන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි අතරේ. අද සටන තියෙන්නේ විපක්ෂයේම කණ්ඩායම් දෙකක් අතර. ඒක තමයි ඇත්ත. මේ සටනේදී අත්දැකීමක් නැති, කළමනාකරණයක් දැනුමක් නැති, වෙස් මූණක් දාගෙන ජාතික ජන බලවේගය කියාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ඒ වෙස් මූණ ගලවන්නත් මේ ජනාධිපතිවරණය අපි යොදාගන්න ඕන. මේ මාලිමාව අලුත් එකක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ අලුත් එකක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ මටත් වඩා වැඩිමල්. කැරලි දෙකක් ගහලා තියෙනවා. ලේ ගංගා ගලා ගිහින් තියෙනවා. තරුණ පරම්පරා ජීවිත අහිමි කර තියෙනවා. දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රටින් පිටමං කර තියෙනවා. අද වෙස් මුණක් දාගෙන ඉන්නවා, ආචාර්ය මහාචාර්ය අර විද්වත් මේ විද්වත් කියලා. ඔය වෙස් මූණම තමයි නූගත් ගෝඨාභය දාගෙන ආවේ. ඒක නිසා මේ මාලිමාවේ ආචාර්ය, මහාචාර්ය වෙස් මූණුවලට අපි කියන්නේ ඔය පිටරට ඉඳන් පැල් බැඳගෙන ඇවිල්ලා ඡන්දේ දෙන අයට අපි කියන්නේ, ‘අපි ගෝඨාට’ කියාගෙන ඕ ගොල්ලෝ ඇවිල්ලා, මේ රටේ ලක්ෂ දෙසීය විස්සක් අමාරුවේ දැම්මා. ඒ අමාරුවේ දාපු වංචාවේ මතක අපට තියෙනවා. ඒක නිසා 21 වෙනිදාට මේ රට මෙතැනින් ඔබ්බට වර්ධනයක් කරා ගිහිල්ලා ණය ගෙවන්න පුළුවන් රටක් අභිමානවත් ජාතියක් කරන්න සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන බලවේගය දිනවන්න කටයුතු කරන මෙන් ඉල්ලනවා.”
තිස්ස අත්තනායක සහ මනෝ ගනේෂන් මහත්වරුද අදහස් දැක්වූහ.
රක්ෂණ ශ්‍රියන්ත සහ නුවන් කොඩිකාර