6
මම කිසිදු පුද්ගලයකුට සුරාබදු බලපත්රයක් ලබාදී හෝ එවැන්නක් ලබාදෙන ලෙසට කිසිවකුගේ නමක් නිර්දේශ කර හෝ නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග මහතා වරප්රසාද ප්රශ්නයක් නඟමින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) ප්රකාශ කළේය.
පසුගිය දිනක තිබූ දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්රකාශයක් හේතුවෙන් සිය වරප්රසාද කඩ වී ඇති බව සඳහන් කළ ඇමැති ප්රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
පසුගිය දිනක තිබූ දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා සුරාබදු බලපත්ර ලබා ගත් කීප දෙනෙකුගේ නම් කිව්වා.
මම කාටදෝ පුද්ගලයකුට සුරාබදු බලපත්රයක් ලබා දුන්නත් කියලා කිව්වා. මම කිසිම පුද්ගලයකුට සුරාබදු බලපත්රයක් ලබා දීලා නෑ. ලබා දෙන්න කිසිම නමක් නිර්දේශ කරලත් නෑ. දේශපාලකයින්ට සුරාබදු බලපත්ර ලබා දුන්නා කියලා දේශපාලන වාසි ලබා ගන්න විපක්ෂය වැරැදි මතවාදයක් හදාගෙන යනවා. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාවට ෆුට් නෝට් ගහපු අයට නම් බලපත්ර ලැබිලා තියෙනවා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මිලියන 10ක චෙක්පත් ලබා ගත් අයත් ඉන්නවා. මම ඒ අයගේ නම් ගම් කියන්න කැමැති නෑ. මේ අය තමන්ගේ නිරුවත වහගන්න අනිත් අයට මඩ ගහනවා.
දයාසිරි ජයසේකර මහතා වගකිවයුතු මන්ත්රීවරයෙක්. එතුමාට පුළුවන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ විස්තර හොයා ගන්න. හොයාගෙන මේ ප්රකාශ කරන්න.