Home Politics News Room : හෙල්ලෙන දත වගේ ආණ්ඩුවක් අපට වැඩක් නෑ

News Room : හෙල්ලෙන දත වගේ ආණ්ඩුවක් අපට වැඩක් නෑ

0
0

“අරක්කු පැක්ටරි අයිතිකාරයන් තුන්දෙනෙක් බදු පොලු තියලා තිබෙනවා. කිරිපිටි පැකට් එකට බදු ගහලා, අරක්කු බදු අය කර ගන්නේ නැතිව ඉන්නවා. මොන ආණ්ඩු ද මේවා. ඒක නොගෙවා නඩු දාලා අවුරුදු ගානක් නඩුව ඇදෙනවා. ජාතික ජන බලවේගය එවැනි නඩු සම්බන්ධයෙන් නීති වෙනස් කර නඩුව අවසානයේ බදු ගෙවිය යුතු බවට තීන්දු කරනවා නම්, පොලියක් එක්ක අය කර ගන්න ක්‍රියා කරනවා. බදු කාර්යක්‍ෂම කර භාණ්ඩාගාරයේ ධනය වැඩි කර ගන්නවා. ඒ අතරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, වෘත්තිකයන් රට දාලා යන්න බල කෙරෙන බදු අය කිරීමේ සීමාව රුපියල් ලක්‍ෂයේ සිට මාසයකට රුපියල් ලක්‍ෂ දෙක දක්වා වැඩි කරනවා යැයි” ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කොටිකාවත්තේ පසුගිය 18 වැනිදා පැවති ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම ඡන්දයක්. මෙයට පෙරත් ඡන්ද ඇවිත් තිබෙනවා. ජනතාව ඡන්දය දීලා තිබෙනවා. නායකයෝ මාරු කර තිබෙනවා. දශක ගණනාවක් මේ දේ කළත් ව්‍යාපාර බංකොලොත් වෙලා රට කඩා වැටිලා දරුවන්ගේ අනාගතය විනාශ වෙලා මුළුරටත්, ජනතාවගේ ජීවිතත් බිඳවැටී තිබෙනවා. 21වැනිදා අප තීන්දු කළ යුත්තේ, අසාර්ථක, දශක හතකට වඩා පැරැණි ඒ පාරේම ඉස්සරහට යනවාද? අලුත් ගමනකට අලුත් පාරකට එනවාද කියන තීරණයයි. ඒ පැරැණි පාර වෙනුවට අලුත් පාරක් අවශ්‍ය නම්, ඒ අලුත් පාර ගෙන එන්නේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ මහජන ව්‍යාපාරයෙන් පමණයි. සැප්තැම්බර් විසිඑක යෙදී තිබෙන මේ අවස්ථාව කිසිසේත්ම මඟහරින්න දෙන්න එපා කියා අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතු වී පැරැණි ගමනට තිත තබා අලුත් ගමනකට නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්.

අපට දිනන්න පුළුවන්, ඒ ගැන කිසි සැකයක් තියා ගන්න එපා. හැබැයි, අපට හෙල්ලෙන දත වාගේ ආණ්ඩුවක් ලැබී වැඩක් නැහැ. ශක්තිමත් ජනවරමක් ඕනෑ. මේ රට හදන්න ශක්තිමත්, දැඩි තීන්දු ගණනාවක් ගන්න තිබෙනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ. ජනතාවගේ ශක්තිමත් තීන්දුවක් ඕනෑ. රටේ ගොඩක් ආයතනවල කරන මත විමසීම්වලදී 70%කට වඩා වැඩි ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට කැමැත්ත පළ කර තිබෙනවා. හොරණ පිහිටි ධම්මික පෙරේරාගේ පැක්ටරියක කළ මත විමසීමකදී 65%කට වඩා ලැබී තිබෙන්නේ ජාතික ජන බලවේගයට. සාමාන්‍යයෙන් ඡන්ද කාලයේදී රාජ්‍ය බුද්ධි සේවය සමීක්‍ෂණ කර ආණ්ඩුවට වාර්තා දෙනවා. දැන් මාසයක ඉඳන් රාජ්‍ය බුද්ධි සේවය සමීක්‍ෂණ කරන එක නතර කරලා. ඒ සමීක්‍ෂණ කරන්න යන අයගෙන් බහුතරයක් මාලිමාවේ. රාජ්‍ය බුද්ධි සේවයේ අය තැපැල් ඡන්ද ඉල්ලීම් අඩු කර ඡන්ද පොළට ගිහිල්ලාම කතිරය ගහන්න සූදානමින් සිටිනවා.

සජබ කොටසක් ගල්ගමුවට ගිහින් මුහුණේ ගල්වන ආලේප සහ සබන් පවා බෙදලා. ඔවුන් බඩු බෙදන අතර, ජාතික ජන බලවේගය මේ රටේ මහජනතාව සමඟ කරන දේශපාලනයෙන් ජයග්‍රහණය කිරීම ඒකාන්තයෙන්ම විශ්වාසයි. සජිත් ප්‍රේමදාසගේ නංගී අම්මා කෙනකුගේ සාරි කට්ටකුත් ගැහුවා. මොන විකාරද? ඡන්ද කාලයේ ඔය දේවල් කළාට ඡන්දයෙන් පස්සේ ජනතාව ඒ ගොල්ලන්ගේ පස්සෙන් යන්න ඕනෑ. ඒ දේශපාලනය නතර කරන්න නම්, ඡන්ද කාලයේදී කෙළින් හිටගෙන අසාර්ථක දේශපාලන ගමන් මාර්ගය වෙනස් කරන්න ජාතික ජන බලවේගය සමඟ එක් වී ක්‍රියාකාරීව වැඩ කරමු කියා ඉල්ලන්නයි අපි ආවේ. කොළොන්නාව ආසනයෙන් විශාල ජයග්‍රහණයක් ඕනෑ.

කොළොන්නාව කීවාම රටේ අනෙක් ජනතාවට හැඟී යන්නේ කුඩු පුරයක් ලෙසයි. පාතාලයේ ක්‍රියාකාරකම් තිබෙන ප්‍රදේශයක් ලෙසයි. කුඩු ව්‍යාපාරයේ යෙදෙන අය කොලොන්නාවේ මන්ත්‍රීකම් දැරුවා. පාතාලය මෙහෙයවපු අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දැරුවා.

කොළොන්නාවේ අම්මා, තාත්තාට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් හෙට මොකක් වෙයිද කියන අවිශ්වාසයෙන් නිතරම ඉන්න සිදු වී තිබෙනවා. මේ පාතාලයත්, කුඩු ව්‍යාපාරයත් කොළොන්නාවෙන් තුරන් කරන්න ඕනෑ. ඒ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව භාර ගන්නවා. ඒවා වැනෙන තීන්දු නොවෙයි. දැඩි තීන්දු. ලංකාවට කුඩු ගොඩබාන ආකාරය, මහා ව්‍යාපාරිකයන් සමඟ තිබෙන සම්බන්ධතාව, ඇතැම් ආරක්‍ෂක නිලධාරීන් සමඟ තිබෙන සම්බන්ධතාව,දේශපාලකයන් සමඟ තිබෙන සම්බන්ධතාව අපි දන්නවා.

අපේ රටේ අපරාධ සංවිධානාත්මක ජාලයක් බවට ගෙනාවේ, හිරගෙදර ඉඳන්, ඩුබායිවල ඉඳන් මෙහෙයවිය හැකි තත්ත්වයට ගෙනාවේ දේශපාලකයන්. අපේ රටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක ගැන කියන්න කට අරින්නේ නැහැ. ඉඩමක් විකුණන්න ගියත්, පාතාල නායකයාට කප්පම් දෙන්න ඕනෑ. හරියට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ මහත්වරුන් බයේ ජීවත් වෙන්න ඕනෑ. ඇතැම් පොලිසියේ මහත්වරුන්ට පාතාලයට බයේ රට අත්හැර යන්න සිදු වී තිබෙනවා. මේ පාතාලයෙන් ජනතාව මුදාගෙන නිදහසේ සිටිය හැකි පරිසරයක් ගොඩනඟන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපට ශක්තිමත් බලයක් දෙන්න කියන්නේ, ජනතාවට මේ නිදහස ලබා දෙන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here