33
ජාතික ජන බලවේගය කවදාවත් ජාතිවාදයට ඉඩ නැති දේශපාලන ව්‍යාපාරයක් බවත් මේ රට ඉස්සරහට ගෙනියන්න නම් ජාතික සමගිය ඇති කළයුතු බවත් ජාතික සමගියක් නැතිව මේ රට ඉදිරියට ගෙනියන්න බැරි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අකුරණ නගරයේදී පෙරේදා (21) පැවති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීවේය.
සමහරු කියා තිබෙනවා අපි බලයට ආවාම මුස්ලිම් අයට රැවුල වවන්න ඉඩදෙන්නේ නැහැ කියලා. මගෙන් කෙනෙක් ඇහුවා ඒක ඇත්ත ද කියලා. මම කිව්වා මමත් රැවුල වවලා ඉන්නේ කියලා එච්චරයි. පස්වතාවක් දෙවියන් වඳින්න දෙන්නේ නැහැ කියලත් කියනවාලු. මොන කතා ද මේ. සජිත්ගේ කඳවුර දේශපාලනයෙන් නන්නත්තාර වෙච්ච කඳවුරක්. මතයක් නැහැ. ඉලක්කයක් නැහැ. වැඩපිළිවෙළක් නැහැ. ඔහේ බහුබූත දොඩවන නායකයෙක් ඉන්නවා. ඒකට සරිලන සෙට් එකකුත් ඉන්නවා. ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ගරුකයි. ඉලක්ක සහිතව මේ රට ගොඩනැඟීමට අරමුණු කරගෙන මැතිවරණයකට ආපු දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. ඒ නිසා සැප්තැම්බර් 21 වැනිදා අපට මේ මැතිවරණය ජයග්‍රහණය කළ හැකියි.
රටේ මේ ඇති වෙලා තිබෙන විපත්තියට සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම වින්දිතයන් බවට පත් වෙලා තිබෙනවා. මේ විපත්තියෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා බැට කනවා. අප සැමගේ කාර්යභාරය තමයි මේ විපත්තියෙන් රට මුදා ගැනීම. මේ කඩාවැටීමෙන් අපේ රට මුදා ගන්න ඕනෑ. මුදා ගැනීමට තිබෙන ආරම්භක පියවර තමයි සැප්තැම්බර් 21 ජාතික ජන බලවේගය අතට රටේ දේශපාලන බලය පත්කර ගැනීම. එතැනින් පටන් ගනිමු. සැප්තැම්බර් 21 පාලන බලය ජාතික ජන බලවේගයට මාරු කරන්න ඕනෑ. ඉන් පස්සේ අපි එකෙන් එක පටන් ගන්නවා. මුලින්ම දේශපාලන ආදර්ශය දෙන්න පටන් ගන්නවා. රට වටේ තිබෙන ජනාධිපති මන්දිර ඔක්කොම අයින් කර කොළඹ එක විතරක් තියා ගන්නවා. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට. අපි හොඳ අධ්‍යයනයක් කර බලමු. නුවර එකට මොනවද කරන්න පුළුවන් කියා බලමු. ඇමැති මණ්ඩලය සීමා කරමු.
අපේ ඇමැතිවරු 25යි. ඊට සරිලන නියෝජ්‍ය ඇමැතිවරු. ඉතාමත්ම හොඳ විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ අමාත්‍යාංශ බෙදලා තිබෙනවා. ඒකට හොඳ අවබෝධයක් තිබෙන දැක්මක් හැකියාවක් තිබෙන අවංක අදූෂිත කණ්ඩායමක් විසින් මේ අමාත්‍යාංශ මෙහෙයවනවා. ලංකා ඉතිහාසයේ ගොඩනැඟුණු බලවත්ම කැබිනට් මණ්ඩලය අපි හදනවා. ඒ අමාත්‍යවරුන්ගේ ගෙවල් කුලී, ලයිට් බිල් අපි ගෙවන්නේ නැහැ. ඇමැතිවරු ජනතාවගේ සේවකයෝ බවට පත් කරනවා. අපි ආදර්ශවත් වෙනවා. රට හදන්න කොච්චර සම්පත් තිබුණත්, මානව සම්පත් තිබුණත් දැක්මක් තිබුණත් අත්දැකීම් තිබුණත් වැඩක් නැහැ. දේශපාලකයා දූෂිත නම්. දේශපාලකයා හොරකම් කරනවා නම් නාස්ති කරනවා නම් රටක් ගොඩනැඟෙන්නේ නැහැ. ඒ නිසා අපි පළමුව රටේ පුරවැසියන්ට රට ගොඩනැඟීමට තිබෙන වුවමනාවේ ආදර්ශය ජාතික ජන බලවේගය ආණ්ඩුව ලබා දෙනවා. හොරකම නාස්තිය නතර කරනවා. හොරකම් කරපු අය සහතික වශයෙන්ම අධිකරණය හමුවට ගෙනියනවා. හොරකම් කරපු දේවල් පවරා ගන්නවා. අපි කිසිම කෙනෙකුගෙන් පළිගන්නේ නැහැ. අපට ඉඩම් දේපළ නඩු නැහැ. පෞද්ගලික නඩු පවුල් ආරවුල් නැහැ. කිසිම පාක්ෂිකයකුගෙන් පළිගන්න රිදවන්න ඇරියස් කවර් කරන්න වුවමනා නැහැ. අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා.
අපට විරුද්ධව වැඩ කරපු කිසිම කෙනෙකුට නිය පිටින්වත් හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. පිහිටවපු කොට්ඨාස සභා ගමේ සාම කමිටු බවට පත් කරනවා. අපි ඡන්දය දිනුවාට පස්සේ ඒ දිනුම සමරන්නේ කෙසේද කියා රටට පෙන්වන්න ඕනෑ. මේ රටේ තිබෙන්නේ ජයග්‍රහණය සැමරීම ප්රජාතන්ත්ර විරෝධි කැත පන්නයේ එකක්. පියවරෙන් පියවර මේ රට හදමු.
කටුගස්තොට සමූහ එස්.ජී. විජේරත්න