17
“එන්න එන්නම ආර්ථිකය කඩා වැටීමක් එනවා, ඔබතුමා මේ වේලාවේ පාර්ලිමේන්තුවට යන්න ඕනෑ කියලා සබරගමුව ආණ්ඩුකාරවර නවීන් දිසානායක මැතිතුමා තමයි පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිව්වේ. බලෙන් කියලා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පාර්ලිමේන්තුවට යැව්වේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා යන්න කැමැත්තක් තිබුණේම නෑ. ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයෙනුත් සමුඅරගෙන තිබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා රට භාර නොගත්තා නම් රට මහා ආගාධයකට යන්න තිබුණා” යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පෙරේදා (21) පැවසීය.
සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිත හමුවකදීය. මෙම හමුව කෑගල්ල විකල්ප මාර්ගයේ පිහිටි ස්ලික් උත්සව ශාලාවේ දී පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා:
“ආර්ථිකය කඩා වැටුණු වේලාවේ හරි නම් එදා ප්‍රධාන විපක්ෂය රජයේ වගකීම් භාර ගත යුතුයි. විපක්ෂය කර ඇරියා. රටේ ගැටලුවක් මතුවෙලා ආණ්ඩුවට රට පාලනය කරන්න බැරි වුණාම ඒ වගකීම ඊළඟට එන්නේ විපක්ෂයටයි. එදා විපක්ෂය සම්පූර්ණයෙන්ම මගහැරියා. තනි මන්ත්‍රීවරයා කිසිම බියක්, සැකක් නොමැතිව රට භාරගත්තා. එතුමා මන්ත්‍රීවරයෙක් වෙන්න කලිනුත් මේ ප්රශ්නය එනවා කියලා අනතුරු අඟවා තිබුණා. ඇඟෙව්වේ කිසිම දේශපාලන වාසියක් ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි. අදහසක් තිබුණේ නෑ. ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයෙන් විශ්‍රාම අරගෙන සිටියා. ඒත් රටට තිබුණ ආදරේ නිසා අනාගත පරම්පරාවට රටක් තියෙන්න ඕනෑ කියලා හිතලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බංකොලොත්ව තිබුණ රට භාරගත්තා.
අපි කිසිම වෙලාවක මැතිවරණයකට සූදානම් වුණේ නෑ. අපි කළේ රට හදපු එක පමණයි. අස්වැසුම දුන්නා අමාරුවෙන්. කොහොමහරි පොහොර ටික ගෙනත් දුන්නා. ඒකෙන් ආහාර හිඟය වළක්වා ගත්තා. ගර්භණී මව්වරුන්ට නැවතිලා තිබුණු පෝෂණ මල්ල නැවත දෙන්න පටන් ගත්තා. ගිය අවුරුද්දේ හාල් දුන්නා, මේ අවුරුද්දේ හාල් දුන්නා. පාසල් යන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දුන්නා. සින්නක්කර ඔප්පු දෙන්න පටන් ගත්තා. වැටිලා තිබුණු රට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ටිකෙන් ටික ගොඩ ගත්තා. අපි යම් පියවරක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. තාමත් ජනතාවට අමාරුයි. තව තියෙනවා. ජීවන වියදම වැඩි වුණා. ජීවන වියදම අඩු කරගන්න ඕන ආදායම වැඩි කරගන්න ඕනෑ. ඒ ගමන යන්න තමයි විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය කටයුතු කරන්නේ. ආර්ථික පරිවර්තන පනත ගෙනාවේ ඒකටයි. වේගයෙන් මේ රටේ ආර්ථිකය දියුණු කරන්නත් අතට සල්ලි වැඩිපුර එන ව්‍යාපාර ඇති කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. වැටුපක් ලබන රැකියාවක් කරනවා නම් වැටුප වැඩි කරන්න ව්‍යාපාරයක් කරනවා නම් ඒකෙන් යන නිෂ්පාදන වියදම අඩු කරලා ආදායම වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර ආරම්භ කරන්න හොඳ රැකියා ඇති කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා. ඉතිරි වැඩි කොටස කරන්න තමයි අපි සියලු දෙනා එකතු වෙලා මේ සිටින්නේ” යැයි සාගල රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා – “සාගල රත්නායක මැතිතුමනි, කෑගල්ල දිස්ත්‍රික්කය විජයග්‍රහණය කරන්න අවශ්‍ය සර්වපාක්ෂික එකමුතුව, සර්වපාක්ෂික ශක්තිය හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් තුළ තියෙනවා කියන එක මම පැහැදිලිව කියන්න ඕනෑ. 2019, 2020 මැතිවරණ ජයග්‍රහණය කරනකොට මේ තරම් සර්වපාක්ෂික ශක්තියක් අපට තිබුණේ නෑ.
දිස්ත්‍රික්කයේ හැටියට සර්වපාක්ෂික ශක්තිය ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කරන්න කැපවී කටයුතු කරමින් සිටිනවා. මේ හිටපු මන්ත්‍රීතුමන්ලාට දේශපාලනය කරන හැටි කියල දෙන්න අවශ්‍ය නෑ. ගම එකතු කරන්න පුළුවන් පිරිසක් මෙතැන අද සිටිනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සැප්තැම්බර් 22වෙනිදා එළිය වැටෙනකොට නව ජනාධිපතිවරයා හැටියට පත්කරන්න කෑගල්ලේ ශක්තිය ලබා දෙන්න මේ නායකත්වයට පුළුවන් කියන එක මම සිහිපත් කර සිටිනවා.”
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජීකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, හිටපු මන්ත්‍රීවරුන් වන චම්පිකා ප්‍රේමදාස, සන්දිප් සමරසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සිරිසේන රාජපක්ෂ, ආනන්ද මිල්ලන්ගොඩ ආදීහුද පැමිණ සිටියහ.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්