Home Politics News Room : ජනතාව හැමදාම තීන්දු ගන්නේ මාතෘභූමිය ගැන හිතලයි

News Room : ජනතාව හැමදාම තීන්දු ගන්නේ මාතෘභූමිය ගැන හිතලයි

0
0

පෞද්ගලික හේතු මත දේශපාලනඥයන් විවිධ තීන්දු තීරණ ගත්ත ද රටේ ජනතාව මාතෘභූමිය වෙනුවෙන් හැමදාම තීන්දු තීරණ ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අනුරාධපුරයේ පැවැති ජනරැලියට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු සම්බන්ධ නොවුණ ද ජනතාව වෙනදාටත් වඩා උනන්දුවෙන් සහභාගි වූ බව පෙන්වා දෙන ඒ මහතා රටේ ජාතික අවශ්‍යතාව පාවා දෙන කිසිවකු නැවත පක්ෂයට නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලීම් ලැබෙන බවද පෙන්වා දෙයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් සාගර කාරියවසම් මහතා මෙසේද පැවැසීය.

Òශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක වැඩසටහන් මලාව අනුරාධපුරයෙන් ආරම්භ කළා. එය බෙහෙවින්ම සාර්ථකයි. ඊයේ රැස්වීම සූදානම් කරනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඊට සම්බන්ධ වුණේ නැහැ. ඒ වුණත් රටට ආදරය කරන ජනතාව ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. මන්ත්‍රීවරුන් කිසිවකුගේ සහභාගිත්වයක් නැති වුවද ජනතාව වෙනදාටත් වඩා උනන්දුවෙන් ඊට සම්බන්ධ වුණා. ජනතාව දැඩි ඉල්ලීමක් කළා අපේ පක්ෂයේ නායකයාගෙන් මේ අවස්ථාවේ ජාතික අවශ්‍යතාව පාවා දෙන කිසිම කෙනෙක් නැවත ගන්න එපා කියලා.

මේ රටේ ජනතාව හැමදාම එක මතයක ඉන්නවා. දේශපාලනයේ දී මහජන නියෝජිතයන් විවිධ හේතු නිසා කුමන තීන්දු ගත්ත ද ඡන්ද දායකයා තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන්. දේශපාලනඥයා පෞද්ගලික හේතු නිසා තීන්දු තීරණ ගන්නවා.

ඒක මේ අවස්ථාවේ ජාතික කඳවුර පාවාදුන්, ජාතික අවශ්‍යතාවට පිටින් ගිය සියලු දෙනාටම මේ රටේ ජනතාව විසින් නිකුත් කළ රතු එළියක් ලෙස අපි දකිනවා. මේ රටේ දේශප්‍රේමී ජනතාව තවමත් ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයන් කුමන මතයක් දැරුව ද රට ගැන සිතා ජනතාව කටයුතු කරනවා. ඒ ගැන ආඩම්බර වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණත් ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් නොවෙයි. එජාපයේ නායකයා ලෙස මේ ඡන්දයට ඉදිරිපත් වෙනවා. ඒ කාරණය ඉතාම පැහැදිලි ලෙස තලතා අතුකෝරල මහත්මිය කළ ප්‍රකාශයෙන් ඔප්පු කර තිබෙනවා. ඇය පැවැසුවේ අපේ නායකයායි උප නායකයායි දෙපැත්තට බෙදිලා ඡන්දය ඉල්ලනවා. ඒ නිසා මේ වෙලාවේ අපේ නායකයාගේ පැත්ත ගන්නවා කීවා. මේක ඉතා පැහැදිලිව එජාපයේ නායකයාගේ ඡන්දයක් බවට පත් කරගෙන තිබෙනවා. අවංකව ස්වාධීන වෙන්න ඕනෑ නම් තමන් දරන නායකත්වයෙන් ඉවත් විය යුතුයි. නමුත් මේ කරන්නේ එවැන්නක් නොවෙයි. තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී නිමල් ලාන්සා, ප්‍රසන්න රණතුංග මහත්වරුන්ට එරෙහිව විවිධ චෝදනා නැඟුවා. නමුත් ඔවුන් දෙදෙනා මූලිකත්වය ගෙන කටයුතු කරන කඳවුරකට යන්න පුළුවන් කිසිම හිරිකිතයක් නැතිව. ආඩම්බරයෙන් ඒ මහත්මියට එතැනට යන්න පුළුවන්. ඒ මහත්මිය මේ වෙලාවේ කළ යුතු වන්නේ චෝදනා කිසිවක් නැතිව ඉතා පිරිසුදු තත්ත්වයට පත්ව තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවීමයි. රටේ පවතින නීතිමය රාමුවේ වැරැදිකරුවන්ට නඩු පැවරිය යුතු වෙනවා.

දේශපාලනඥයන්ට එරෙහිව පවතින නඩු ඉක්මණින් අසා නිම කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා නම් හොඳයි. අපෙන් ඉවත්ව ගිය අය නැවත ගන්නේ නැහැ. අපේ දෙවන පෙළක් ඉන්නවා. ඔවුන් පෙන්නලා තිබෙනවා ශක්තිමත්ව යන්න පුළුවන් කියලා. ඒක තමයි අපට අවශ්‍ය වුණේ.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් පසු අලුත්ම කණ්ඩායමක් සමඟ රට ඉදිරියට ගෙනයන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. ජනතාවට එපා නම් මම සැලුන් දොර වහන බවට මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. දැන් නාමල් රාජපක්ෂ ආගමනයත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ බියට පත්වෙලා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් දකුණේ ජනතාවත් එක්ක එකක් කියනවා. උතුරට ගියාම දමිළ ජනතාවට පොලිස්, ඉඩම් බලතල දෙනවා කියනවා. මේක දෙබිඩි පිළිවෙතක්. තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරනවා. අපේ පක්ෂයේ අපේක්ෂකයා කීවා උතුරට එක දෙයක් දකුණට එක දෙයක් කියන්නේ නැහැ. දමිළ ජනතාවගේ ඡන්ද අඩුවෙයි කියා බොරුවක් කියන්නේ නැතිව ජාතික නායකයෙක් ලෙස ඇත්ත ප්‍රකාශ කළා. අපේ කඳවුරේ කිසිවකුට චෝදනා නැහැ.

අපි ජයග්‍රහණය කරා ගමන් කරනවා. තමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශ්වාසයක් නැති අය කරන්නේ අනෙක් අයට බොරු චෝදනා කරන එක. අපි ඔය බොරු, අවලාද කිසිවක් අදාළ කරගන්නේ නැහැÓ යැයි පැවැසීය.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here