11
ගම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් ඇති කිරීම සිය ප්‍රතිපත්තිය බවත් මහින්ද චින්තනය පෙරදැරි කරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් නවත්වන ලද ස්ථානයෙන් පටන් ගෙන රටේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ යක්කල පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති මැතිවරණ කාර්යාලය ආරම්භ කර අනතුරුව පැවති ජන හමුවේදීය. ගම්පහ මහා නගරසභාවේ හිටපු නගරාධිපති එරංග සේනානායක සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රන්ජිත් ගුණවර්ධන යන මහතුන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ තම පාලනයක් තුළ දැනට පවතින දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය නූතනත්වයත් සමඟ ගැළපෙන, ලෝක රැකියා වෙළෙඳපොළට සරිලන අධ්‍යාපන ක්‍රමවේදයකට පරිවර්තනය කරන බවය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නව නායක අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා රැස්වීම අමතමින් සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේදී නාමල් රාජපක්ෂ මහතා පිළිබඳ විවිධ අවලාද කියූ බවයි. ලැම්බෝගිනි වර්ගයේ වාහන මෙන්ම රත්රන් අශ්වයන් ඔහු සතු බව එම පක්ෂය සඳහන් කළත් ඒවා සෙවීමට බලය ලබා දුන් පසුගිය කාලය තුළ ඔවුන්ට නොහැකි වූ බවත්ය.
රැස්වීම අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ඒ ඒ අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයන් පිළිබඳව අනාවැකියක් පළ කළේය. ඒ අනුව ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලක්ෂ 23ක්, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 37ක්, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ 12ක් ලබා ගන්නා බවත් නාමල් රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 40 කට අධික ප්‍රමාණයක් ලබා ගන්නා බවත් පැවසීය.
එමෙන්ම එදා රණවිරුවන් 14000ක් දිවි පුදා ආරක්ෂා කළ රටේ පැවති යුද්ධයට නායකත්වය ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති තුළ මේ රටට නායකත්වය ලබාදීමට එකම සුදුස්සා නාමල් රාජපක්ෂ මහතා බව ද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියයෝ එහිදී පැවසූහ.
මෙම අවස්ථාවට ගම්පහ හිටපු නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ
සිසිල ගුණතිලක සහ
ගම්පහ අතිරේක