9
පළමු වතාවට ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියා ජනතාවට ආදර්ශයෙන් පෙන්වන බව ජාතික ජන බලවේගයේ නායක,ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ ‘රට අනුරට’ – ජාතික ජන බලවේගයේ තිස්සමහාරාම රැලිය පසුගියදා (24) අමතමිනි. එහිදී වැඩිදුරටත් අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවැසීය.
“ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාවට ජනතා ආණ්ඩුවක් හදන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. අපි ආණ්ඩුවක් හැදුවාට පස්සේ අපි මේ රටේ ජනතාවට පෙන්නන්නම් ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා.අපි මෙතෙක් කල් ආණ්ඩු කියලා දැක්කේ මොනවාද? ජනතාවගේ දේපළ, හොරකම් කරන, නාස්ති කරන, රට වටේ ඉඩම් අල්ලන, ජනතාව බියගන්වන, පොලිසියට අත පොවන පාලකයො තමයි ආණ්ඩු විදිහට දැක්කේ.
ඔබ හිතන්නේ ඒවා ආණ්ඩු කියලා ද? අපි පළමු වතාවට මේ රටේ ජනතාවට ආදර්ශයෙන් පෙන්වනවා ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. අද ජනතාවගෙන් කොටසකට තුන්වේල කන්න නැහැ. එක්කෝ කෑවත් හරි හමන් පෝෂ්‍යදායී කෑමක් නැහැ. ඒ කියන්නේ ආහාර ටිකවත් සපයා ගන්න බැරි තරමට ජනතාව දුප්පත් කරලා. අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න බැරි තරමට ජනතාව දුප්පත් කරලා. දරුවන්ට උගන්වන්න වියදම් කරන්න බැරි තරමට ජනතාව දුප්පත්. මඟුල් දවසෙ දාපු මුද්ද බැංකුවේ. දරුවාගේ බෙල්ලේ බැඳපු පංචායුධය බැංකුවේ. එහෙනම් මේ මොකද වෙලා තිබෙන්නේ. රට දුප්පත්. ආණ්ඩුව දුප්පත්. ජනතාව දුප්පත්. පාලකයෝ පොහොසත්. දීර්ඝ කාලයක් තිස්සේ සිදු වුණේ ඕකයි. පාලකයන්ට ඉඩම් වැඩි වුණා. ඒ ගොල්ලන්ගේ ගෙවල් ලොකු වුණා. රට වටෙන්ම ගෙවල් ගත්තා. ධනය වැඩි වුණා. එහෙනම් මෙච්චර කල් මොකද වෙලා තිබෙන්නේ.ජනතාව ආණ්ඩු හදලා පාලකයා පොහොසත් වෙලා. රටයි ජනතාවයි දුප්පත් වෙලා.
පාලකයෝ හැමදාම එකට හිටියා. ඒගොල්ලෝ පොහොසත් වෙන්න, ඒ ගොල්ලන්ගේ ධනය වැඩි කර ගන්න එකට හිටියා. ඒගොල්ලෝ කවදාවත් තරහ වෙලා නැහැ, ඒගොල්ලෝ හැමදාම එකට හිටියා, එකට ආණ්ඩු කළා. පැරදුණු ගමන් එකතු වෙනවා. දිනුවහමත් එකතු වෙනවා. ජනතාව හැමදාම බෙදුණා. අවුරුදු 76ක් පුරාවට වුණේ ඔය ටික.
දැන් අපට තේරෙනවා රටට ජනතාවට මොකක්ද වුණේ කියලා. ගොඩක් කතා ඕනෑ නැහැ. මේ පාඩම් ටික අපට හොඳටම ඇති. ජනතා ආණ්ඩුවක් හදන්න ඕනෑ ඇයි කියන තීරණය ගන්න. හැබැයි අපට ආණ්ඩුවක් හදන්න වුවමනාවක් තිබ්බට, ඒ සඳහා කැක්කුමක් තිබ්බට ඒක එහෙමම කරන්න බැහැ. ඒකට අවස්ථාව එන්න ඕනෑ. දැන් අවස්ථාව ඇවිත් තිබෙනවා. කවදා ද? මේ සැප්තැම්බර් 21දා. මාසෙකටත් අඩු කාලයක්. මේ අවස්ථාව අතහරිනවා ද? කොහෙත්ම නැහැ. අපි ඔක්කොටම එකතු වෙලා ජනතාවගේ පැත්තේ හිටගන්න ආණ්ඩුවක් හදන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා.
ඒ දේ අපි එකතු වෙලා කරමු. ඉන් පස්සේ අපි රට ගොඩනඟන්න ඕනෑ. ඒ සඳහා අපි ඒ ඒ අමාත්‍යාංශවල විෂයයන් ඒ සඳහා හසළ දැනුමක් තිබෙන,අත්දැකීම් තිබෙන අයට භාර දෙන්න ඕනෑ. උදාහරණයක් ලෙස වරායට නාවික කර්මාන්ත හා වරාය පිළිබඳව දැනුම තිබෙන අදූෂිත අවංක මිනිහෙක් සභාපති කිරීම පෙන්වා දිය හැකියි. හැම ක්ෂේත්රයකටම අපේ තේරීම ඒකයි. ඒ ඒ ක්ෂේත්‍ර ගැන අවබෝධය, නිපුණතාව තිබෙන අය තමයි අපි ඒ ඒ ක්ෂේත්රවලට පත් කරන්නේ. ඒ මිනිසුන්ගෙන් තමයි ආණ්ඩුව මෙහෙයවන්නේ. එතකොට රට ඉදිරියට යනවා. පළමුව මේ රට පොහොසත් කරන්න ඕනෑ. රට පොහොසත් වුණොත් ආණ්ඩුවත් පොහොසත් වෙනවා. රට පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන ආණ්ඩුවක් අපි හදමු. එතකොට ජනතාව කියයි මේවනේ අප්පා ආණ්ඩු කියලා. මම ඇතුළු මහජන ධනය සතයක් හොරකම් නොකරන කණ්ඩායමකින් අපි ආණ්ඩුවක් හදමු.
අපි ඔබට සහතිකයක් දෙනවා. මහජන මුදල් සතයක් හොරකම් නොකරන, නාස්ති නොකරන ආණ්ඩුවක් අපි හදනවා කියලා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන්න ආණ්ඩු මින් පස්සේ නැහැ. ජනතාවට නැති වරප්‍රසාද අපට එපා. තෙල් මිල ඉහළ යනවිට මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයකින් ඉන්ධන දීමනාව වැඩි කළා. ඒ දීමනාව ලබා නොගත් එකම මන්ත්‍රීවරු තුන්දෙනා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා.
අපි සැලසුමක් හදනවා.එක කන්නයක් වෙනුවට කන්න තුනක් වගා කරන්න.අපට විශාල වැව් පද්ධතියක් තිබෙනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ. සති දෙකක් යනකොට වැව් හිඳෙනවා. වැවේ වතුරවලට වඩා තිබෙන්නේ රොන් මඩ. වැව් ඉස්මත්ත එළිකළා. ජලපෝෂක ප්‍රදේශ විනාශ කළා. වැව් ප්‍රතිසංස්කරණය කළේ නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ එම වැව් ප්‍රතිසංස්කරණය කරනවා.කන්න තුනම වගා කරන්න පුළුවන් විදිහට රටේ කෘෂි නිෂ්පාදනය වැඩි කිරීම රට පොහොසත් කිරීමේ එක පියවරක්. අපේ පොස්පේට් නිධිය ඇතුළු සියල්ල ඛනිජ සම්පත් කර්මාන්ත බවට පත් කරනවා. රැකියා උත්පාදනය කරනවා. එතකොට ජනතාව පොහොසත්. ආහාරවලට, ඖෂධවලට ගහලා තිබෙන බදු අපි ඉවත් කරනවා.මනා පෝෂ්‍ය ගුණයෙන් යුත් සෞඛ්‍යසම්පන්න, ක්‍රීඩාශීලී ජනතාවක් ගොඩනඟන එක තමයි අපේ ආණ්ඩුවක ප්‍රධාන අරමුණ.
ජනතාව පීඩාවට පත් කරන ප්‍රභූවරුන්ගේ සියලු වරප්‍රසාද අපි අහෝසි කරනවා. අපේ පාලනයක් යටතේ ජනතාවට ඉහළින් සිටින ප්‍රභූවරුන් කියලා ජාතියක් නැහැ. අපි සෑබෑ ලෙසම ජනතාවාදී ආණ්ඩුවක් හදන්න එකතු වෙමු.”
උපාලි කරුණාරත්න