Home Politics News Room : ගොවියාට උපරිම සහන දී දුප්පත්කම තුරන් කරනවා

News Room : ගොවියාට උපරිම සහන දී දුප්පත්කම තුරන් කරනවා

0
0

ගොවි ජනතාවට උපරිම සහන දෙමින් දුප්පත්කම තුරන් කිරීමට නව වැඩසටහනක් ආරම්භ කරන බව සමඟි ජන බලවේගයේ ජනපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් එක් ජන රැලියක් පෙරේදා (28) වැල්ලවායේදී පැවති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“රාජ්‍ය සේවයේ ඇති විෂමතාවලට විසඳුම් දී රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා. ගුරු සේවය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ ගැටලුවලට විසඳුම් දෙනවා. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ‘සෙවණ’ නිවාස වැඩසටහන ආරම්භ වුණේ වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයෙන්. ඒ වගේම සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන ආරම්භ කළෙත් වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයෙන්. ඒ අනුව සක්වල සුහුරු පන්ති පාසල් 385කට දුන්නා. බස් රථ 89ක් දුන්නා. රෝහල් 61කට ආධාර දුන්නා.

76 වසරක දේශපාලන ඉතිහාසයේ විපක්ෂයක් රටට වැඩක් කර පෙන්නුවා. විපක්ෂය සිදු කළ සේවයේ වටිනාකම ලක්ෂ 10,000යි. සමඟි ජන බලවේගයත්, සමඟි ජන සන්ධානයත් ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයක් නැතිව රටට එය ඔප්පු කර තිබෙනවා. සමඟි ජන සන්ධාන රජයකින් ගොවි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර රුපියල් 5000කට දීමට කටයුතු කරනවා. කෘෂි රසායන පොහොරවල මිල නියාමනය සාධාරණ මිලකට කෘෂි රසායන දෙනවා. පොහොර දීමේදී ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන දූෂණයෙන්, වංචාවෙන් තොරව විනිවිදභාවයකින් පොහොර දීමට කටයුතු කරනවා. කිව් ආර් ක්‍රමවේදය යටතේ ගොවියන්ට, ධීවරයන්ට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පාසල් ප්‍රවාහන රථවලට, ශක්ති වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්න අනිවාර්යයෙන් කටයුතු කරනවා.

සමඟි සන්ධාන රජයකින් වී මිලක් දීමට කටයුතු කරනවා. ගොවියන්ට සහ පාරිභෝගිකයන්ට එල්ල වන මරු පහර ඉවත් කර පාරිභෝගිකයාට සාධාරණ මිලට සහල් දෙනවා. වී ගොවීන්ට ඉහළ සහතික මිලක් දෙන්න අපි කැප වෙනවා.

ඇපයක් නොමැතිව රාජ්‍ය බැංකුවලින් ණය ගෙන ඒවා නොගෙවූ කෝටිපතියන් ඉන්නවා. ඔවුන් නොගෙවූ ණය කපා හරින්න පාලකයන්ට පුළුවන්. ඒ කපා හැරපු ප්‍රමාණයේ නම් ගම් හෙළි කරන්න බෑ කියලා වර්තමාන රජය කියනවා. ගොවියා රකින පොඩි මනුස්සයාගේ ජනාධිපතිවරයා ලෙස ගොවීන්ගේ ගොවි ණය කපා හරින්න සමඟි ජන සන්ධාන රජයකින් කටයුතු කරනවා.

මේ වන විට දුප්පත්භාවය තුරන් කිරීමේ තිරසර වැඩසටහනක් රටේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ජනසවියේ, සමෘද්ධියේ, අස්වැසුමේ හොඳ ගුණාංග එකතු කර අඩුපාඩු ඉවත් කර දුගී දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කරනවා. කවුරුත් කැමති නෑ, සදාකාලිකව දුප්පතුන් වෙලා ජීවත් වෙන්න. කවුරුත් කැමති නෑ, සදාකාලිකව වහලුන් වෙන්න. දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාව දුප්පත්භාවයෙන් මිදීමට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ අනුව සෑම දුප්පත් පවුලකටම මාසයකට රුපියල් 20,000ක මූල්‍ය ශක්තියක් දෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

වැල්ලවාය ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම තිබෙනවා. අලි මිනිස් ගැටුම විසඳීමට පළමුවෙන් ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. කිසිම පාලකයෙක් ඒ දේ කර නෑ. එම සැලැස්ම ඉදිරිපත් කර අලි සහ මිනිසුන් අතර ගැටුම අවම කරන්න සහ සතුන් සහ මිනිසුන් අතර තිබෙන ගැටුම් අවම කරන්න කටයුතු කරනවා.

හම්බේගමුව, කොටවෙහෙරමංකඩ, කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශවලට ජලය දෙන ව්‍යාපෘතිය අතරමඟ නතර වෙලා තිබෙනවා. අනිවාර්යයෙන්ම සමඟි ජන සන්ධාන රජය හරහා එම ජල ව්‍යාපෘතිය නොපමාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. අලිකොටියාර ජලාශයෙන් වැව් 110 ක් පෝෂණය කිරීමට අවශ්‍ය ඇළ මාර්ගවල ඉදිකිරීම් සම්පුර්ණ කර වැල්ලවාය සහ ඒ අවට ප්‍රදේශවල ගොවීන්ට කන්න දෙකම වැඩ කරන්න පුළුවන් වාරි සංස්කෘතියක් නිර්මාණය කරනවා. පැල්වත්ත, සෙවනගල සීනි කර්මාන්තශාලාව නිසි කළමනාකාරීත්වයකින්, නිවැරදි ක්‍රමවේදයකින් ලාභ ලබන ආයතන බවට පත් කරන්න පුළුවන්. වර්තමාන රජය ආයතනයක් දැක්ක ගමන් පෞද්ගලීකරණය කරන්න යනවා. රජය ලාභ ලබන ටෙලිකොම්, ලිට්‍රෝ ගෑස්, ශ්‍රී ලංකන් කේටරින් ආදිය පෞද්ගලිකරණය කරන්න හදනවා. අපේ රට සම්පත් විකුණන වෙන්දේසියේ පරාදිසයක් කරලා. පැල්වත්ත, සෙවනගල සීනි කර්මාන්තශාලාව නව ක්‍රමවේදවලින් ජනතාවගේ සුබසිද්ධියට ක්‍රියාත්මක කරනවා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී වන ජීවී ක්ෂේත්‍රයත්, සංස්කෘතික ක්ෂේත්‍රයත්, ස්වභාව සෞන්දර්යයත් කේන්ද්‍ර කර ගත් නව සංස්කෘතික සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. එයින් ආර්ථිකය ගොඩනඟන්න සමඟි ජන සන්ධානය රජය කටයුතු කරනවා.

විදෙස් ගමන් බලපත්‍ර දෙන්න බැරි ආණ්ඩුව වැල්ලවාය දියුණු කරයිද ? සමඟි ජන සන්ධාන රජයකින් රටේ සෑම ගමක්ම, නගරයක්ම දියුණු කරනවා. රජයේ සේවක වැටුප් ජනවාරි මාසයේ සිට සියයට 24කින් ඉහළ දැමීමට කටයුතු කරනවා. ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරනවා. සෑම රාජ්‍ය සේවකයකුගේම අවම වැටුප 57, 500ක් බවට පත් කරනවා. සංයුක්ත දීමනා දීම වැටුප් දෙන දිනයේදීම දෙන්න කටයුතු කරනවා. සමස්ත රාජ්‍ය සේවයේ තිබෙන ගැටලුවලට අපි විසඳුම් දෙනවා. මමත් මගේ කණ්ඩායමත් මේ ජයග්‍රහණය ජනතා වරම අපේ ජීවිතවලට වඩා රැක ගනිමින් ඔබ අපට දෙන ගරුත්වය ආරක්ෂා කර ගනිමින් ඌව වෙල්ලස්ස සංවර්ධනය කරන්න කටයුතු කරනවා.”

ඩලස් අලහප්පෙරුම මහතා

“ඉතිහාසයේ කිසිදු මැතිවරණයකදී නොදක්වපු කැප කිරීමක් සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් සිදු කළ යුතුයි. සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මැතිවරණය සමාන වෙන්නේ 2005 ජනාධිපතිවරණයට පමණයි.

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා හැර වෙනත් කෙනකු ජනාධිපති වුණොත් එය තමයි අපේ රටේ අවසානය. ශ්‍රී ලංකා රාජ්‍ය රැක ගන්න අවශ්‍ය නිසා මෙවර ජනාධිපතිවරණය වැදගත් වෙනවා. ඒ නිසා තමයි සමඟි ජන සන්ධානයට උතුරේ ජනතාව, නැඟෙනහිර ජනතාව, කඳුරට ජනතාව, දකුණේ ජනතාව ජාතිකවාදීන්, ජාත්‍යන්තරවාදීන් සියලු දෙනාම එකතුවෙලා ඉන්නේ.”

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා

“රටේ පෝලිම් යුගය නැති කළ නිසා, රට ආර්ථික අර්බුදයෙන් මුදා ගත් නිසා, රට ණය උගුලෙන් බේරාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කළ නිසා තවත් වසර පහක කාලයක් දෙන්න කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. එය සම්පූර්ණ අසත්‍යයක්.

කෙසේ නමුත් සමඟි ජන සන්ධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කර, වර්තමාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම සංශෝධනය කර ජනතාවට සහනයක් දෙන්න කටයුතු කරනවා”

හේෂා විතානගේ, සුජීව සේනසිංහ, චන්දිම වීරක්කොඩි සහ රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුද දෙහිදී අදහස් දැක්වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here