2
- ජනපති රනිල්ගේ නිවැරැදි නායකත්වයෙන් රට අද යම් තැනකට පැමිණ තිබෙනවා – ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ
- යළිත් අපට අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ – ඇමැති මහින්ද අමරවීර
- ඉදිරි ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මකයි – හිටපු ඇමැති ෆයිසර් මුස්තාපා
- රටේ නායකත්වයට යළි රනිල් නාවොත් සියලු දෙනා සමූල ඝාතනය වීම වළක්වන්න බෑ – හිටපු ඇමැති මනූෂ නානායක්කාර
ජනතාවට සහනාධාර දෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීමේ සැලසුම් සහිතව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට සහ මොනරාගල ජන රැලි අමතමින් පෙරේදා (29) පැවසීය.
තමා දෙන සහනාධාරයෙන් නවීන කෘෂිකර්මාන්තයට අනුගතවීමෙන් නිෂ්පාදනය වැඩිකර ජනතාවගේ ආදායම වැඩිවන බව ජනාධිපතිවරයා උදාහරණයක් ලෙස මෙහිදී සඳහන් කළේය. අනෙක් අය කිසිම සැලසුමක් නැතිව කරන්නේ මොනවාදැයි කියාවත් නොදැන සහනාධාර පොරොන්දු ලබාදෙන බව කී ජනාධිපතිවරයා රටට මුදල් නැතිනම් සහනාධාර දෙන්නේ කෙලෙස දැයි මෙහිදී ප්‍රශ්න කළේය. අංක ගණිතයවත් නොදන්නා මිනිසුන් ජනාධිපති ධුරයට පත්වන්නේ කෙසේ දැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
ආර්ථිකය ස්ථාවර කිරීමේදී මේ රටේ ගොවි ජනතාව තමාට විශාල සහයක් ලබා දුන් බව කී ජනාධිපතිවරයා, 2023 මහ කන්නය සහ යල කන්නය සාර්ථක වී යැයි ද සියලු ගොවි ජනතාවට ස්තූතිවන්ත වන බව ද පැවසීය.
හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී සහ මොනරාගල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
2022 වසරේ මා භාර ගත්තේ කඩා වැටුණු රටක්. මම රට හදන්න සියලුදෙනාට ආරාධනා කළා. රට බේරගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ඉවරයි අපි එන්නේ නැහැ කියලා ඇතැම් අය කිව්වා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පොහොට්ටුවේ බහුතරයක් මට සහාය දුන්නා. එදා සිට ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් මට ඒ සහාය ලැබුණා. මම ඒ පිළිබඳ ස්තූවන්ත වෙනවා. මේ මැතිවරණය සඳහා මම ඔවුන්ගේ සහාය ඉල්ලුවේ නැහැ. මැතිවරණයකදී ඕනෑම පක්ෂයකට ඕනෑම තීරණයක් ගැනීමේ හැකියාව තිබෙනවා. ඔවුන් වෙනම තරග කරනවා. අපි වෙනම තරග කරනවා. මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රටේ අප ඇති කර තිබෙන ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර දීම සඳහායි. 2023 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් බවට පත් කර ගැනීමට අපට හැකි වුණා. අපට මුදල් ලැබීමත් සමඟ අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා. අද අපි සෑම ක්ෂේත්රයකටම සහන ලබාදී තිබෙනවා.
උක් වගාවටත් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා. මේ සහනාධාර දුන් විට ජනතාවගේ ආදායම් වැඩි වෙනවා. අප සහ අනිත් පාර්ශ්වයන් අතර තිබෙන වෙනස එයයි. මුදල් නැතිව සහනාධාර ලබා දෙන්නේ කොහොමද? ඒ නිසා ජනතාවට සහන දිය යුත්තේ ආදායම් වැඩි කරගෙනයි. මේ අංක ගණිතය නොදත් අය රටේ ජනාධිපති වන්නේ කොහොමද කියා මම අහන්න කැමතියි. මේ රටේ නිෂ්පාදන වැඩිවීමත්, රුපියල ශක්තිමත් වීමත් සමඟ අපට ජනතාවගේ ජීවන බර අඩු කළ හැකියි. අප පසුගිය කාලයේ ආරම්භ කළේ ඒ වැඩපිළිවෙළයි. අපි තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට සැලසුම් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ පිළිබඳ කිසිවක් ඇතුළත්ව නැහැ. හම්බන්තොට වරාය දියුණු කිරීමේ වගකීම මා එදා භාර ගත්තා. චයිනා මර්චන්ට් සමාගම මෙන්ම සුබානා ජුරොං සමාගම ද ඒ සඳහා සැලැස්මක් සකස් කර තිබෙනවා. හම්බන්තොට මහා පරිමාණ අයෝජන කලාපයක් ඇති කිරීමට අක්කර හාරදහසක් ලබාදීමට අප එකඟ වී තිබෙනවා. ඒ වගේම සයිනොපෙක් පිරිපහදුව මේ ප්‍රදේශයට ගෙනැවිත් තිබෙනවා. සයිනොපෙක් පිරිපහදුව ලංකාවේ දෙවන පිරිපහදුවයි. මේ ව්‍යාපෘති සමඟ අප ඉදිරි වසර පහේදී හම්බන්තොටට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ගේනවා.මේ දියුණුව ඇති කිරීම වෙනුවෙන් අපි එක්වෙමු.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා-
අර්බුදය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගත් නිසා අප අද එතුමාට සහාය ලබා දෙනවා. එදා ජනතාව පෝලිම්වල මැරී වැටුණා. ඒ අවස්ථාවේ එතුමා රට ගොඩනැඟීමේ වගකීම භාර ගත්තා. එසේම ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසුව අපේ සහාය එතුමා ඉල්ලා සිටියා. කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස මා ගොවීන්ට පෙහොර ලබාදීමට මැදිහත් වුණා. ගොවිජනතාව නැවත වරක් ගොවිබිමට යැවීමට කටයුතු කළා. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද එදා අප පොහොර ආනයනය කර ගොවි ජනතාවට ලබාදුන්නා. එය නතර කරන්න ජවිපෙ උත්සාහ ගත්තා. ජවිපෙ මොන බාධක ඇති කළත් ජනතාවට පොහොර සහනාධාර ලබාදීම අප නතර කළේ නැහැ. රජයේ කෘෂි නවීකරණ වැඩසටහන හේතුවෙන් අද වන විට සහල් අතිරික්තයක් පවා රටේ ඇති වී තිබෙනවා. අපේ ඉදිරි රජයක් යටතේ අතිරික්ත සහල් අපනයනය කිරීමෙන් ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීමට කටයුතු කරනවා. කෘෂි නවීකරණ වැඩසටහනින් ඉදිරියේදී තරුණයන්ට ලක්ෂ තුන හතරක් ලැබෙන පරිදි වැඩසටහන් නිර්මාණය කරනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගෙන සහල් නිෂ්පාදනය වැඩි කිරීමට ලබන කන්නයේ සිට පොහොර මිටියක් රුපියල් හාරදහසකට ලබාදීමට දැනටම මුදල් වෙන්කර තිබෙනවා. ඒ වගේම සියලු ගොවීන්ට බණ්ඩි පොහොර නොමිලේ ලබාදීමට දැනටමත් ගිවිසුම් අත්සන් කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැඟීමේ පින්කමට දායක වුණා. යළිත් අපට අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ. මේ රට දියුණු කරන වැඩපිළිවෙළ ජයග්‍රහණය කිරීමේ වගකීම ඉදිරියේ අපට තිබෙනවා.
සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා-
රටකට ජාතික ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාවත් අවශ්‍යයි. පසුගිය කාලයේ පැවැති අර්බුද හේතුවෙන් රටට සංචාරකයන් ආවේ නැහැ. එදා පැවතියේ විදේශ ප්‍රේෂණ විදියට අමෙරිකා ඩොලර් බිලියන හතරක් පමණයි. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් බිලියන 7 – 8ක් අපට අහිමි වුණා. අද රටට ඇදහිය නොහැකි ආර්ථික විප්ලවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇති කළා. ආර්ථික යුද්ධයෙන් රට බේරාගත් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අප කෘතවේදීව සහාය දිය යුතුයි. එදා අප රටක් විදිහට දුක්වින්දා. නමුත් එතුමා ඉතා කෙටි කාලයකින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට පියවර ගත්තා. එතුමාගේ නිවැරැදි නායකත්වය නිසා රුපියල ස්ථාවර වී තිබෙනවා. උද්ධමනය අඩු වී තිබෙනවා.ජනාධිපතිට ඉදිරි වසර පහක කාලය නැවත ජනාධිපති ධුරය ලබාදීමට අප සියලුදෙනා කැපවෙමු.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා –
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් බහුතරයක් එක වේදිකාවකට ඇවිත් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන බලවේග විශාල පිරිසක් අප සමඟ ඒකරාශී වෙමින් සිටිනවා. අප අද වෙහෙසකර ගමනක් ආරම්භ කර තිබෙනවා. ගතවූ වසර දෙකේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට යුතුකම සහ වගකීම නිසි ලෙස ඉටුකළ නායකයෙක් බව පැවසිය යුතුයි. එමනිසා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් එතුමා වටා ඒකරාශී වී සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විදියට එතුමා වෙනුවෙන් මේ දේශපාලන තීන්දුව ගත්තේ රට ගැන සිතා බව කිව යුතුයි.
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා-
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38ක් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව ඉදිරිපත්ව සිටිනවා. ජනපති පුටුවට යෑමට කී දෙනෙක් බලාන ඉන්නවා ද කියා එමඟින් පැහැදිලියි. අනුර හා සජිත් මැතිවරණ වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් කරනවද? එදා රට භාර ගන්න ඔය කිසි කෙනෙක් හිටියේ නැහැ. බලය දුන්න වෙලාවේ කවුරුත් භාර ගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර ගන්න විට අමෙරිකානු ඩොලර් මිලියන 20යි තිබුණේ. මේ රටේ ජනතාවට දවසක් කන්න දෙන්න ඒ මුදල ප්‍රමාණවත් නැහැ. ධනපති පන්තියේ නායකයන් නිර්ධන පන්තියට බලය හොඳින් ලබා දෙන්නේ නැහැ. ඔවුන් සන්නද්ධ අරගලයකින් බලය ගන්න තමයි උත්සාහ කරන්නේ. අද ඔවුන්ට ඡන්දයට ඉදිරිපත් වෙන්න අවස්ථා ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට කළ වෙනස නිසයි. ඉදිරි මැතිවරණයේදී අපි වරද්දා ගත්තොත් ශ්‍රී ලංකාවට අත්වන දේ හිතාගන්නවත් බෑ.
හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා –
ඉතිහාසයේ සිටම එජාපය මේ රටට වැඩක් කළ, පක්ෂයක් බව කිව යුතුයි. එදා අර්බුදයට මැදිව තිබූ මේ රට ජනාධිපති රනිල් භාර ගත්තා. ඒ අර්බුදය චිත්‍රපටයක් නම් ඒ චිත්‍රපටයට විවේකයක් ජනාධිපති වික්‍රමසිංහ මහතා ලබා දී තිබෙනවා.
මේ විවේක කාලයේ අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට ගෙනයනවාද කියා කල්පනා කළ යුතුයි. අද වන විට බංග්ලාදේශයේ තත්ත්වය ඉන්දුනීසියාවට පමණක් නොව මාලදිවයිනටත් පැතිර ගිහින්. ජවිපෙ කාර්යාල අද රට පුරාම ජන රැලිවලට රට වටෙන්ම බස්වලින් ගේනවා. දවසකට බස්වලට විතරක් ලක්ෂ ගණන් වියදම් කරනවා. ඔවුන්ට මෙතරම් සල්ලි කොහෙන්ද? මේ සල්ලි දෙන්නේ මේ රට යළිත් අර්බුදයකට ඇද දැමීමට උත්සාහ කරන බලවේගයි. ඒ බලවේග ශ්‍රී ලංකාව ගොඩනැඟෙනවාට කැමති නැහැ. ඒ නිසා ජවිපෙට ඕනෑතරම් සල්ලි වියදම් කරනවා. ඒ නිසා අපි රටක් විදිහට සාමූහිකව මැරී වැටිය යුතු නැහැ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ නායකත්වයට යළිත් පත් නොවුණහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වළක්වන්න බැහැ.
හිටපු ඇමැති ෆයිසර් මුස්තාපා මහතා-
ඉදිරි ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මකයි.ඇතැමුන් මේ රටේ දේශපාලනය පමණයි කරන්නේ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනතාවට ආදරය කරන නායකයෙක්. අනික් දේශපාලනඥයන් සහ වික්‍රමසිංහ මහතා අතර වෙනසක් තිබෙනවා. සමහර අය ජාතීන් අතර ප්‍රශ්න ඇති කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකේය චින්තනයක් සහිතව රට ඉදිරියට ගෙනයන නායකයෙක්. එතුමා එදා රට භාරගෙන කළ කාර්යභාරය ලෝකයේ කිසිම රටක නායකයෙක් කර නෑ. දිනෙන් දින රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මහතා මේ රටේ බලයට පත්වුවහොත් මාස හයක් ඇතුළත යළි පෝලිම් යුගයක් ඇතිවෙන එක නම් නියතයි.