Home Politics News Room : හරි දේට පක්ෂ, පාට නෑ

News Room : හරි දේට පක්ෂ, පාට නෑ

1
0

‘ඔහු මළ ගෙවල් මඟුල් ගෙවල්වල යෑමට දත කන්නේ නැත. මූණිච්චාවට උපන් දින සුබ පැතුම් එවන්නේ නැත. ලෙඩ වුණහම බොරුවට කතා කර සුවදුක් විමසන්නේ නැත. මළ ගෙයකට මල්වඩම්වත් මඟුලකට කේක්වත් සපයන්නේ නැත. මඟුල් ගෙවල් මළ ගෙවල්වල නාඳුනනා මිනිසුන් වර්ණනා කරමින් කතා කරන්නේ නැත.මෙය නම් සිහිනයක් පමණකැයි ඔබ කියන්නට පුළුවන. ලියන්නා කෙරේ කෝපයෙන් ලිපිය විසි කර නැඟිට යන්නට පුළුවන. එහෙත් තරමක් ඉවසන්නට යැයි ඉල්ලමින් නැවතත් මම ලියවිල්ලට බසිමි. අප දකින සිහිනය තුළ දේශපාලනඥයා සිය වත්කම් හෙළි කරමින් දේශපාලනයට බසින අතර හැම වසරකම වත්කම් ප්‍රකාශය අලුත් කරයි. තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් අරමුදල් සැපයූ සියල්ලන් ද ඒ අරමුදල් ප්‍රමාණයන් ද හෙළි කරයි.

සුරංගනා කතා

හේ විශාල කටවුට් ගසමින් සල්ලි විසි නොකරයි. සිය පෙළපාළිවලට මිනිසුන් කැන්දා ගෙන යෑමට අරක්කු ලොරි පිටින් නොසපයයි. බත් පාර්සල් කඳු නොගසයි. දන්සල් නොදෙයි.

දැන්නම් ඔබට තරහ පාලනය කර ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබේ. කිසි දා සිදු විය නොහැකි සුරංගනා කතාවක් අසන්නාක් මෙන් මේ සියල්ල දෙස සෝපහාසයෙන් බලන්නට ඉඩ තිබේ. ඇතැම් විට මේවා ඔබ පෞද්ගලිකව විඳ තිබේ නම් මෙහි ඇත්තේ අහවල් වැරැද්දක් දැයි කියමින් මගේ ඇඟට ගොඩවෙන්නට ද ඉඩ තිබේ. ඒවා අද වන විට ඒ තරමට ම සාමාන්‍ය දේවල් වී ඇති නිසා ය.

එහෙත් මේ සැප විඳි සමහරු ඒවා විඳින අතරේම මේවා ප්‍රශ්න කරන බව උඩු සිතෙන් නොවූවත් යටි සිතෙන් ප්‍රශ්න කරන බව මේ රැවටීම්වලින් තොර හෙට දවසක් පතන බව අපේ අදහස ය. ඒ නිසා ම අපේ සිහිනය බෙදා ගන්නට ද ඔවුන් ඉදිරිපත් වන්නට පුළුවන. එහෙත් ඒ හැම කෙනෙකු තුළම මේ සැබෑ වන සිහිනයක් ද යන විචිකිච්ඡාව ඇති වන්නට පුළුවන.

අප අමතක නොකළ යුතු කාරණය නම් සැබෑ වන්නේ අප දකින සිහිනයන් බවය. මහ පොළොව තුළ යමක් පැළ කරන්නට පළමු අපේ මනස තුළ එහි බීජය සුරක්ෂිතව වැඩිය යුතු බවය. පොළොවේ යමක් ඉදිකරන්නට මත්තෙන් කඩදාසියක එය ඇඳ එකලාසයක් කර ගත යුතු බවය. නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට පෙරාතුව එහි පිටපත ලියා මනසින් රංග භූමිය දැකිය යුතු බවය. ඒ නිසා මේ සිහිනය දිගටම දකින්න ඉඩ දෙන්න.

එම දේශපාලනඥයා කුඩා දරුවා ජාතික පාසලකට දා ගැනීමටවත් ලොකු එකාට රැකියාවක් ලබා ගැනීමටවත් බිරියට මාරුවක් ලබා ගැනීමටවත් වැරැද්දක් කළ කෙනෙකුහට ඉන් ගැලවීමටවත් උදවු නොකරයි. ඒ සියල්ල රටේ නීතියට අනුව සිදු වෙන බවට සැමට සාධාරණ ලෙස අවස්ථා සලසන බවට හේ වග බලා ගනියි.

දැන් නම් ඔබ මට තඩි බාන්නට සැරසෙනු ඇත. මෙහෙම කරන්නේ නැති හැලපයකුගෙන් ඇති වැඩේ කුමක් දැයි ඔබ අවි අමෝරාගෙන එනු ඇත. මගේ සිල්ලර වැඩ ටිකවත් කර දෙන්නේ නැති හාල්පාරුවෙකුට මා මනාපය දෙන්නේ මන්ද? එවැන්නෙකු වෙනුවෙන් මා පෙනී සිටිය යුතු වන්නේ මන්ද? යනුවෙන් ඔබ මා ප්‍රශ්න කරනු නියතය.

මේ ඡන්දදායකයාට තමන්ගේ මන්ත්‍රීතුමා හරියට ම මුලිච්චි වන වෙලාවය. තමන් ඉල්ලන කෙනාම ලැබෙන වෙලාවය. සාධාරණය වෙනුවට තමන්ගේ සිල්ලර වැඩ කර ගැනීමට උදව් ඕනෑ වෙලාවය. සිහින දේශපාලනඥයෙකු පතන අපි ඒ සඳහා අප සිහින රටවැසියන් විය යුතු යැයි සිතන්නේ නැත.

අපේ ඇදය පෙනෙන වෙලාව

අපේ ඇදය හදා නොගෙන හෙවණැල්ලේ ඇදය හදන්නට යන අපිට මේ අපේ ඇදය පෙනෙන වෙලාවය. එයත් තාවකාලිකව පැත්තකට දමා නැවතත් අපේ සිහිනය දකින්න අපට අවසර දෙන්න. එතුමා හෙට එළඹෙන මැතිවරණය නොව අනිද්දා රටට සිදු වන යහපත ම පතයි. රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස දැනටමත් පුරවා ඇති නිසා එය තවදුරටත් රැකියා දෙන ස්ථානයක් නොකළ යුතු යැයි සිතයි. ගංගාවල් විනාශ වී ළිං සිඳෙන නිසා වැලි පර්මීට් දීම නවතන්නට සිතයි. තරුණයින් මත්ද්‍රව්‍යවලින් විනාශ වන නිසා මත් කුඩු හා මත්ද්‍රව්‍ය වළකාලන්නට සිතයි. කසිප්පු නිෂ්පාදනයට එරෙහිව පොලිසිය මෙහෙයවයි. කංසා හේන් වටලයි. බස් මාෆියාවේ තර්ජන මායිම් නොකර මගීන්ගේ සෙත සලසන ක්‍රියාමාර්ගයන් ගනියි. මෙහෙම සිහින දකින්නට ‘තමුසෙට ඔල්මාද දැයි’ රජයේ රැකියා බලාපොරොත්තු වන තරුණයින් මගෙන් දැන් අසන්නට අවි අමෝරා ගෙන එනු ඇත. වැලි පර්මීට්වලින් ජීවනෝපාය ගෙනියන අය ද මත්කුඩු විකුණා ජීවත්වෙන අය ද කසිප්පු නිපදවන හා විකුණන අය ද කංසා හේන් අයිතිකාරයෝ ද බස් තියාගෙන මගීන්ට තග දාන ව්‍යාපාරිකයන් ද ඒ ගංගාවට එකතු වෙනු ඇත.

දැන් සිහිනය බලලා ඉවරය ඉක්මනින් මාරු වෙන එක ඇඟට ගුණ ය.

ඒත් රාජ්‍ය සේවය නඩත්තු කරන්නට අධික බදු ලෙස බදු ගෙවන්නට සිදුව ඇති ජනතාවත් ළිං වියළී ගං ඉවුරු කැඩී යාමෙන් විපතට පත් ජනතාවත්, මත් කුඩු නිසා ජීවිත විනාශ වෙන තරුණ තරුණියන්ගේ මවුපියනුත්, බස් මගීනුත් තවමත් මා සමඟ සිහිනය සමඟ සිටිනු පෙනෙන නිසා තවත් ඉදිරියට සිහිනය දකින්නෙමු. තරහ අවසර. අපේ සිහිනය තව දකින්න, ඉඩ තියන්න.

ඉවරයක් නැති සිහින

එතුමාට රථ ගාය නැත. එතුමා සිහින රථ පැත්තක දමා සාමාන්‍ය රථයක ගමන් කරන්නේ ය. එතුමාට පරිවාර රථ නැත. එතුමා නළා හඬවාගෙන අපි ව දෙතුන් පැත්තකට විසිකර පාර බදු ගැනීමට කල්පනා කරන්නේ නැත. මිනිසුන්ගේ දරුවන්ගේ ශරීර උඩින් යන්නට මෙන් ඉගිලෙන්නේ නැත. දිනෙක බස් රථයක ද තවත් දිනයක දුම්රියක ද තව දවසක ත්‍රීවීලර් එකක ද යන්නට තරම් එතුමා සරල ය. බසයේ ආසනයක් නැත්නම් එතුමා හිට ගෙන යන්නේ ය. බසයක් එනතුරු අප සමඟ පෝලිමේ ඉන්නේ ය. එතුමෝ මහ මගදී කඩ සාප්පුවකදී අපට මුණ ගැසෙති. සමහර විට ඒ මුදල් ගෙවීමට නියමිත කවුන්ටරයට යන පෝලිමේ දී බඩු මල්ලකුත් සමඟ ය.

මූට නම් ඔල්මාද යැයි කියමින් දැන් නැගිටින්නට හදන්නේ මෙතෙක් කල් ඉවසා ගෙන හිටි බුද්ධිමත්ම ජනතාව ය. ඒ කියන්නේ සිහිනය තවදුරටත් නොදැකිය යුතු බව ය. දැක්කත් පිස්සෙකු වගේ ඒ ගැන කියවන්නේ නැතුව එය තමන්ට ම සීමා කර ගත යුතු බව ය. රටතොට ගිය ඇත්තෝ තවමත් සාවදානව මගේ සිහිනය අසා සිටිති. සමහරු වෙන රටවල නායකයින් සයිකල්වලින් දුම්රියෙන් යන එන උදාහරණ සපයමින් කෝප වී සිටින බුද්ධිමතුන් අමතන්නට වෙර දරති. ඒත් මේ අදහා ගන්නට බැරි දේ කියන මිනිසාට තවදුරටත් සවන් දීමට අපේ බුද්ධිමතුන් සූදානම් බවක් පෙන්වන්නේ නැත. සිහින පෙනෙන්න ගත්තහ ම ඉවරයක් නැත. ඒ නිසා ම කලබල මැද්දේ ම හීනය තවත් ඇදී ආවේ ය.

එතුමා මුදලට ගත නොහැකිය. කවදාවත් අනෙත් පැත්තට අඩිය තියන්නේ නැති බවට සපථ කොට පසු දා එළිවෙන කොට අනිත් පැත්තට පැන ගෙන ජනතාවගේ ඉල්ලීම මත එසේ පනින්නට හේතු වුණ බවට කෙබර ඇද බාන්නේ නැත. එතුමා ප්‍රතිපත්තිගරුක ය. අද එක ප්‍රතිපත්තියක් ගැන කතා කර හෙට තව ප්‍රතිපත්තියකට චන්දය දෙන්නට ඔහු ඉදිරිපත් නොවේ. එතුමා නීතිගරුකය. වැරදි නීති තිබෙන්නේ නම් ඒවා කඩනවා වෙනුවට ඒ නීති වෙනස් කිරීමට ඔහු ඉදිරිපත් වේ.

ඔහුට අවශ්‍ය රටේ සියලු තීරණ, දත්ත හා තොරතුරු මත පදනම්ව ගන්නටය. බහුතර යහපතට අනුව ගන්නට ය. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් හා ආයතනික යන්ත්‍රණ ගොඩනඟන්නට ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සම්මුති ගොඩනඟන්නට ඔහු කැමතිය. ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කොට තමන් එයින් ඉවත්වන්නට ඔහුට වුවමනාය.

දුරදිග ගිය හීනය

කිසිදු නායකයෙකු ඉදිරියේ වැඳ නොවැටෙන ඔහු, වැරැද්ද කවුරු කළ ද වැරැද්දක් බව කීමට නොබිය ව ඉදිරිපත් වේ. හරි දේ වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද ඒ පුද්ගලයාගේ පක්ෂ පාට බලන්නේ නැතිව ඔහු සමඟ ඒ කාරණය සම්බන්ධයෙන් එක් වේ.

ඔහු හෙංචයියන් අගය නොකරයි. සත්‍යය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින නිර්භීත මිනිසුන් අගය කරයි. ඔහු ගන්නේ ද යුක්තියේ සාධාරණත්වයේ පැත්ත ය.

ඒ කියන්නේ සමහර විට ඔහු අපේ පැත්ත නොගැනීමට වුව ඉඩ ඇතැයි කියාය. මොකක්? අපේ පැත්ත නොගන්නා එකෙකු සමඟ මොන පයුරු පාසානයක් ද? අඳෝමැයි. පරණ දේශපාලනඥයා හොඳටම හොඳය. දැන් මට ද හිතෙන්නේ හීනය දුර ගියා වැඩිය කියාය.

මේ කපේදී රට ගොඩ ගන්නට වන්නේ නැත. රට ගොඩ ගන්නේ කුමට? මා ගොඩ ගියා නම් හරිය. එයට ගැම්මක් දේශපාලනඥයාගෙන් ලැබේ නම් තවත් සිහින දකින්නේ මන් ද?

මායි මගේ ගෑණියි පොල් මුදලාලියි හිටියොත් ඇතිය. වත්තේ පොල් කඩා අප විකුණන්නේ මුදලාලිටය. ගෙදරට ඕනෑ කරන දේ ගන්නේ පොල් මුදාලිලාගේ කඩෙන්ය. එහෙම බැලුවහම ලොකු අපේක්ෂා අවශ්‍ය ම නැත. පොල් මුදලාලිට හොඳ දේශපාලනඥයා ඒ නිසා මට ද හොඳය. ඒ මගේ සිහින දේශපාලනඥයාය.

නිශාන්ත කමලදාස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here