Home Politics News Room : මහින්ද යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදා සිදුව නැහැ

News Room : මහින්ද යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදා සිදුව නැහැ

1
0

මොන ආර්ථික ඔස්තාර්ලා පැමිණියත් මෙරට ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසි දිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ හලාවත, ආරච්චිකට්ටුවේදී පෙරේදා (03) පැවති ජනරැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ වන විට මෙරට ආර්ථිකය බිලියන 80ක 85ක මට්ටමේ පැවතියත් අපේ ආණ්ඩුවක් යටතේ එය බිලියන 180 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා වන වැඩපිළිවෙළ මා සතුයි. ඒ තුළ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලක්ෂ 20ක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ අන්තර්ගතයි.

අද සනත් නිශාන්ත මහතා සිටියා නම් මේ ස්ථානයේ ඉන්නවා. ඒ මහතා සිටියා නම් මගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා. කවදාවත් මොන අභියෝගය ආවත් මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ කඳවුර පාවා දුන්නේ නෑ. අද ඒ මහතාගේ ආදරණීය බිරියත් වගකීම කරට අරගෙන අපට දැවැන්ත ශක්තියක් දෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය අපට අලුත් තැනක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට විශාල සහයෝගයක් දුන්නා. ඒ මහතා ධීවර ඇමැතිවරයාව සිටි කාලයේ විශාල වැඩ කොටසක් කළා. මේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කයට බොහෝ දුරට සමානයි. ඒ නිසා මේ ජනතාවගේ අදහස් අපි දන්නවා. එදා මේ ගම්මාන සංවර්ධනය කළේ මේ ජනතාව ජීවත් වන පරිසරය පිළිබඳව අපට අවබෝධයක් තිබෙන නිසයි. අපට වුවමනාව තිබුණා, මේ ගම්වල දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් පහසුකම් දෙන්න. ඒ වගේම නගරයේ දරුවන් ලබන ආදායමට සමාන ආදායමක් ගමේ දරුවන්ටත් දෙන්න අපට අවශ්‍ය වුණා.

තරුණ තරුණියන්ට රැකියා දෙන්න, ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අපට අවශ්‍ය වුණා. ඔවුන්ට තාක්ෂණය දීමෙන් පමණයි ආදායම වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ. මත්ස්‍ය අස්වැන්න වැඩි කර ගැනීමෙන් පමණයි ධීවරයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩපිළිවෙළ අපි ළඟ තිබෙනවා. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම දෙයක්ම විදේශයන්ගෙන් ගේනවා. පසුගිය ආණ්ඩුවේ තෙල් ප්‍රශ්න තිබුණා. උපක්‍රමශීලිව එය නිර්මාණය කළා. විදුලිය නොමැති තත්ත්වයක් තිබුණා. යහපාලන ආණ්ඩුව සමයේ විදුලිබල පද්ධතියට එක මෙගාවොට් එකක් හෝ එකතු නොකළ නිසා බලශක්ති ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විදුලිය කපන්න වුණේ. නමුත් ගෝඨාභය ආණ්ඩුව සමයේ ගොවියන්ට සහන දුන්නා. නමුත් අපි කාබනික පොහොර දෙන්න ගිහින් ගොවියන් අපි සමඟ අමනාප වුණා. මම එදා පුත්තලම දිස්ත්‍රික්කයට ආවා. ගොවියන් සමඟ සාකච්ඡා කළා. අපි විශ්වාස කළා මේ රටේ කෘෂිකර්මාන්තය වස විසෙන් තොර වෙන්න ඕනෙ කියලා.

අපි වවන්න ඕනෙ. මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කරනවා. දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වනවා. සංචාරක ව්‍යාපාරය මේ දිස්ත්‍රික්කයේ දියුණු කරන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ අපි ළඟ තිබෙනවා. ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වන්න දැක්මක් අපට තිබෙනවා. අපි හැමදාම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, දේශීය ව්‍යවසායකයා විශ්වාස කළා. අදටත් එහෙමයි. හෙටටත් එහෙමයි. විදෙස් ආයෝජකයන් ගේනවා වගේම දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න ඕනෙ. දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා රකින්න ඕනෙ. සමුපකාර බැංකුව, ග්‍රාමීය බැංකුව ශක්තිමත් කරමින් ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට අඩු පොලියට ප්‍රාග්ධනය දිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ රැකියා උත්පාදනය කරන්න ඕනෙ.

ආයෝජකයන් ගේනවා වගේම දේශීය සහ විදෙස් රැකියා වෙළෙඳපොළ තුළ ඊළඟ වසර දහයක කාලයේදී අපි රැකියා ලක්ෂ 20ක් නිර්මාණය කරන්න පියවර ගන්නවා. ඒ තුළින් ඍජුවම තරුණ තරුණියන්ගේ ශක්තිය මේ රටේ ආර්ථිකයට ගන්න පුළුවන් වෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය දැක්මක් සමඟ දේශපාලනය කරනවා. වේදිකාවේ එකිනෙකාට මඩ ගැහුවා කියා පලක් නෑ. පසුගිය වසර 20, 30 ගත් විට දේශපාලන ප්‍රතිපත්ති ඇතැමුන්ගේ එක හා සමානයි. එකම කාරණය කතා කරනවා. ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එකම දේ කියනවා. ඒ අපේක්ෂකයන් බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ බටහිරකරණය මිස නවීකරණය නොවෙයි. මම විශ්වාස කරන්නේ බටහිරකරණය නොවෙයි. අපි අපේ රට නවීකරණය කරා රැගෙන යා යුතුයි කියන විශ්වාසය සහ වැඩපිළිවෙළ සමඟ අපි දේශපාලනය කරනවා. ඒ වැඩපිළිවෙළ අපි ළඟ තිබෙනවා. ඒ නිසා එක් එක් අයගේ ප්‍රතිපත්ති වෙනස්. ඇතැමුන් මේ රටේ සමාජයට, සංස්කෘතියට පහර දෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා.

මේ රටට හානියක් වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නෑ. අද පෝලිම් යුගයක් ගැන කතා කරනවා. ඇතැම් අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේම ඉන්නේ පෝලිම් ඉවත් කරන්න. නමුත් පාස්පෝට් පෝලිම එන්න එන්න දිගු වෙනවා. පොලිසියේ මහත්වරුන් උදේ සිට රෑ වෙනකල් පාස්පෝට් පෝලිම හදනවා. අනෙක් පැත්තෙන් විදෙස් සංචාරකයන් ලංකාවට එන විට ගුවන් තොටුපොළේ පෝලිමක් නිර්මාණය වී තිබෙනවා. සමහරුන්ගේ ප්‍රතිපත්තිය තමයි පෝලිම වැඩි වෙනවා නම් මිල වැඩි කරනවා. පරිභෝජනය අඩු කරනවා. සංචාරක ව්‍යාපාරයටත් එය කරයි ද කියා බියක් දැනෙනවා. අපට වැඩපිළිවෙළක් තිබෙනවා. රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනෙ කියා අපි විශ්වාස කරනවා. උද්ධමනයට සමානව රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් ඉහළ නැංවිය යුතු වෙනවා. ඒකට දේශපාලනඥයන් මැතිවරණයක් එනකල් බලා සිටිය යුතු නෑ. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, මාරුවීම්, නිසි ක්‍රමවේදයකට විය යුතු වෙනවා. ඒකට මැතිවරණයක් පැමිණෙන තෙක් බලා සිටිය යුතු නෑ.

රාජ්‍ය සේවයේ ගෞරවය අරක්ෂා කරනවා සේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමෙන් සැබෑ පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් තාක්ෂණික පරිවර්තනයක් අපි ක්‍රියාත්මක කරනවා. අපේ පරම්පරාව අපේක්ෂා කරන්නේ ඒකයි. අපේ ආර්ථිකය ගැන කතා කරනවා. මොන ආර්ථික ඔස්තාර්ලා පැමිණියත් මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසි දිනෙක මේ රටේ සිදුව නෑ. මමත් අපේ කණ්ඩායමත් ඊළඟ අවුරුදු දහයේ බිලියන 80, 85 ආර්ථිකය බිලියන 185 දක්වා වර්ධනය කරනවා. ඒ තුළ තමයි අලුතින් රැකියා උත්පාදනය වෙන්නේ. ඒ තුළ තමයි මිනිසුන්ගේ අතට සල්ලි යන්නේ. ඒ තුළ තමයි මිනිස්සු පොහොසත් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය දැක්ම සහ වැඩපිළිවෙළ සමඟ අපි මේ රටේ දේශපාලනය කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු දේශපාලන බලවේගයයි. අපි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුරයි.

ඇතැම් පක්ෂ දැන් කියනවා පොහොට්ටුව දැන් ඉවරයි කියලා. එහෙම කියන අය කියනවා පොහොට්ටුවේ රැස්වීම්වලට යන්න එපා කියලා. ගියොත් ගහනවා කියනවා. එක් වෙලාවක ඡන්ද නෑ කියනවා. නමුත් රැස්වීම්වලට යන විට බයයි. මේ රටේ මිනිස්සු දන්නවා. මහ පොළොවට පය ගහලා සංස්කෘතිය ආරක්ෂා කරන මිනිස්සු 21 වැනිදාට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පොහොට්ටුවට ඡන්දය දෙනවා.”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි සහ

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාද මෙහිදී අදහස් දැක්වූහ.

හලාවත පුත්තලම දෙදිසාවේ අධිකරණ සංඝනායක නවදන්කුලමේ මේධානන්ද නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හලාවත ආසන සංවිධායක යූ. කේ. ඩී. පාලිත, හලාවත ආසනයේ සම සංවිධායක සමන්ත පෙරේරා මහත්වරු සහ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප – සුලෝචන ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here