20
රාජ්‍ය සේවයේ නිලධාරීන් සහ නිලධාරිනියන් වෙනුවෙන් ලබන ජනවාරියේ සිට 24%ක වැටුප් වැඩි වීමක්, රුපියල් 57,500ක අවම වැටුපක්, රුපියල් 17,500ක් වූ ජීවන වියදම් දීමනාව 25,000 දක්වා වැඩි කිරීමක්, 06%-36% දක්වා වූ බදු සූත්‍රය 01%-24% දක්වා අඩු කිරීමක්, 2016 සිට රාජ්‍ය සේවයට පැමිණි අයට නොලැබුණු විශ්‍රාම වැටුප් සමගි ජන බලවේග රජයෙන් දෙන බව සමගි ජන බලවේගයේ ජනපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලිවේ තවත් එක් ජන රැලියක් පසුගියදා (03) මන්නාරමේදී පැවති අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මෙතෙක් කල් හිටපු කිසිදු පාලකයකුට උතුරු, නැඟෙනහිර පළාත් දෙකේ සංවර්ධනය වෙනුවෙන් ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. යුද්ධයෙන් බැට කාපු උතුරු නැඟෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා උතුරු නැඟෙනහිර දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් මුළු රටේම දැවැන්ත සංවර්ධනයක් ඇති කරනවා.
අනෙකුත් දිස්ත්‍රික්ක සහ ඉන්දියාව සමඟ ප්‍රවාහන සම්බන්ධතා ඇති කර ඒ තුළ මන්නාරම කේන්ද්‍ර කොටගෙන දැවැන්ත සංවර්ධන යුගයක් ඇති කරන්න හැකියාව ලැබෙනවා. මන්නාරම කේන්ද්‍ර කොටගෙන සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන්න හැකියාව ලැබෙනවා. නිෂ්පාදන කර්මාන්ත ස්ථාපනය කරන්න හැකියාව තිබෙනවා. කුඩම්මාගේ සැලකිල්ල ලැබුණ මන්නාරම් දිස්ත්‍රික්කය ශක්තිමත්, දියුණු දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා.
ගොවීන්ගේ වගා ණයත් කපා හරින්න කටයුතු කරනවා. ගොවීන්ගේ වී නිෂ්පාදනයට සාධාරණ මිලකුත් දෙනවා. කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට දෙනවා. කිව් ආර් ක්‍රමවේදය යටතේ ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පාසල් ප්‍රවාහන රථවලට, ශක්ති වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්න අනිවාර්යයෙන් කටයුතු කරනවා. ගොවිතැන විනාශ නොකර සුහුරු ගොවිතැනක් බවට පත් කර සුහුරු ගොවි පරපුරක් බිහි කරනවා.
අපේ මුහුදු සීමාවේ විදේශීය ධිවරයන් ධීවර කර්මාන්තයේ නියැළීම බරපතළ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට රාජ්‍යතාන්ත්‍රිකව ස්ථිරසාර විසඳුමක් දෙනවා. වාරි ක්ෂේත්රය දියුණු කරමින් අහත්ති ජලාශය, කට්ටුකාරෙයි කුලම් ජලාශය, නිදන්කුලම් ජලාශය වැනි ජලාශ වැඩිදියුණු කර කන්න දෙකේම සාර්ථකව කෘෂිකර්මාන්තය කරන්න අවශ්‍ය වටපිටාව සලසා දෙනවා. නව තාක්ෂණය හරහා ගුණාත්මකභාවයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව සලසා දෙනවා. මන්නාරම් රෝහල ඇතුළු ප්‍රාදේශීය රෝහල් වැඩිදියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා.
උතුරු නැඟෙනහිර දැවැන්ත නිවාස ව්‍යාපෘති ගණනාවක් අපි ආරම්භ කළා. නමුත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ නිවාස වැඩසටහන් නතර කර දැමුවා. සැප්තැම්බර් 21 වැනිදා සමගි ජන සන්ධානය ජයග්‍රහණට කළාට පසුව උතුරු සහ නැඟෙනහිර පළාත්වල වගේම අනෙකුත් පළාත්වල ආරම්භ කළ නිවාස ව්‍යාපෘති අංග සම්පුර්ණ කරන්න මුදල් ප්‍රතිපාදන දීමට කටයුතු කරනවා. ඉඩම් නොමැති නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ගම්උදා යුගය නැවත වතාවක් ආරම්භ කරන්න කටයුතු කරනවා.
මන්නාරම් දිස්ත්‍රික්කයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන හරහා ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ මට්ටමින් තාක්ෂණික උද්‍යාන ආරම්භ කර රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කර තරුණ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. රට පුරා නව ව්‍යවසායකයන් ලක්ෂ 10ක් බිහි කිරීමට අවශ්‍ය මුල්‍ය ශක්තිය දෙන්න, දැනුම, පුහුණුව දෙන්න කටයුතු කරනවා. මන්නාරම් දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා ඇති කර තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දෙනවා. මන්නාරම් දිස්ත්‍රික්කයේ තරුණ පරපුර සුහුරු තරුණ පරපුරක් බවට පත් කරන්න ගමන ක්‍රියාත්මක කරන්න අපි කැප වෙනවා.
මන්නාරම් දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්න කටයුතු කරනවා. මන්නාරම් දිස්ත්‍රික්ක ඇතුළු සියලුම දිස්ත්‍රික්ක දත්ත කේන්ද්‍රීයව විද්‍යාත්මකව සංවර්ධනයෙන් ගොඩගැනීමට කටයුතු කරනවා. මන්නාරම් දිස්ත්‍රික්කයේ සියලුම පක්ෂ ඒකාරාශී කරගෙන මන්නාරම් දිස්ත්‍රික්කය දැවැන්ත සංවර්ධනයකට ලක් කරනවා. උතුරු, නැඟෙනහිර පළාත්වල දුක් විඳි ජනතාවගේ සුබවාදී යුගය නිර්මාණය කරන්න සමගි ජන සන්ධානය අනිවාර්යයෙන්ම කැප වෙනවා.”
සුජීව සේනසිංහ මහතා
“අපේ රටට මෙච්චර වැරදුණේ කොහොමද? ඉන්දියාව අද ලෝකයේ බලවත්ම රට බවට පත්වෙලා. 1991 මන්මෝහන් සිං මහතා ඇවිත් කලින් තිබූ සමාජවාදය ඔක්කෝම අතහැර අමෙරිකාව, ජර්මනිය, එංගලන්තය, චීනය යන සෑම රටක් සමඟම එකතු වෙලා ඉන්දියාවේ විවෘත ආර්ථිකයක් ඇති කළා. කොකාකෝලා, මැක්ඩොනල්ඩ් ඒවා තමා රටට හඳුන්වා දුන්නේ. ජෙට් යානා අද ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා. මර්සිඩීස් බෙන්ස් ඉලෙක්ට්‍රික් කාර් හදන්නේ ඉන්දියාවේ.
1994 පස්සේ මේ රටේ සංවර්ධනය නැවතුණා. අද වී ටික හරි නිෂ්පාදනය වෙන්නේ අපේ පැරණි නායකයන්ට පින් සිද්ධ වෙන්න. ඔවුන් පවුල්වලට හම්බ කළේ නෑ. ආසියාව නොදියුණු වෙලා තිබියදී අපේ නායකයන් මහවැලිය, ඇඟලුම් කර්මාන්ත ආරම්භ කර දියුණු කළා. පවුලේ අය ඒවායෙන් හම්බ කර ගත්තේ නෑ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නිවෙස තිබෙන ඉඩමේ පර්චස් එක ලක්ෂ 350යි. වෝඩ් ප්‍රදේශයේ ඒ නිවෙස තිබෙන්නේ. පර්චස් 120ක් මේ රටේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර එතුමා ගියේ. ජෝන් කොතලාවල තමන්ගේ දේපොළ රටට පරිත්‍යාග කළා. එහෙමයි අපේ නායකයන්. මට විරුද්ධව එක චෝදනාවක් නෑ. සජිත් ප්‍රේමදාස මහතාටත් එහෙමයි. කිසිම වංචනික ක්‍රියාවක් කර නෑ. සජිත් ප්‍රේමදාස මහතා හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් එකතු කරලා ස්මාර්ට් ක්ලාස් රූම් හදලා දී තිබෙනවා දරුවන්ට. ඒක වැරදිද? ජනතා විමුක්ති පෙරමුණ කොච්චර සල්ලි එකතු කර තියෙනවාද? සත පහක් දීලා තියෙනවද දුප්පත් මනුස්සයෙක්ට.”
අර්ජුන රණතුංග මහතා
අපි මේ 21 වැනිදා හදන්නේ අලුත් රටක්. ආගම් වාදය, ජාති වාදය අවුස්සලා අපි හැම දෙනාම වෙන් කර රට ගෙනගිය කාලයක් තිබුණා. ඒකට තිත තැබිය යුතු කාලය දැන් පැමිණ තිබෙනවා. මම ක්‍රීඩා නායකයෙක් හැටියට අනුගමනය කළ එක දෙයක් තමයි හොඳම කණ්ඩායම තෝරන එක. ”
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය.
රක්ෂණ ශ්‍රියන්ත