21
සර්වජන බලය පක්ෂය විසින් ජනතාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති උපාය මාර්ගික වැඩපිළිවෙළ තුළින් ඔබගේ ජීවිතය වෙනස්වන දිනය, ඒක වෙනස් වෙන්නේ කොහොමද කියල අපි දාලා තියෙනවා. ලෝකයේ ඕනෑම රටක තර්ක කරන්නට පුළුවන් නිර්මාණශීලී දරුවෙක් බිහිකරන ආකාරය, උපන්දා සිටයේ මරණය දක්වා ගෙනියන ඔහුගේ ජීවන චක්‍රය කොහොමද අපි වඩා වැදගත් පුරවැසියෙක් හැටියට උස්සල තියන්නේ කියලා අපි සටහන් කරලා තියෙනවා. අපි මෙහි සඳහන් කරලා තියෙනවා ඔබට ලබා ගත යුතු සෞඛ්‍ය පහසුකම් හෝ වෙනත් පහසුකමක් වේවා එය පුද්ගලික මටටමේ හෝ රාජ්‍ය මට්ටමේ වේවා මොන තත්ත්වයෙන් ගත්තත් එය සමානව ඔබට ලැබිය යුතු බව.Ó යැයි ජනාධිපති අපේක්ෂක සර්වජනබල පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල නගරයේදී පැවැති සිය පාක්ෂික හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවිර මහතා මෙසේද කීය.
“අපේ ජාතිකත්වය හා ශිෂ්ටාචාරය විශ්වාස කරන, අපේ මව්බිම අපෙන් ගිලිහී යා නොදිය යුතු යැයි විශ්වාස කරන සැබෑ ජනතාවක් තමයි අද මෙතෙන්ට ඇවිල්ල ඉන්නේ. වාහනවලින් ගෙනැල්ල සෙනඟ පෙන්නන ගොඩේ කොටස්කරුවන් නොවේ අපි. ඒ නිසා අපි පවත්වන්නේ ඇත්ත රැස්වීම්. අපි මෙහෙම කළාට වැඩිම සෙනඟ ඉන්න රැස්වීම් තුනක් හතරක් මේ මොහොතේත් කොහේ හරි පවත්වනවා කියල අපි දන්නවා. ඒ එක රැස්වීමකට වියදම රුපියල් මිලියන විසිපහක් තිබ්බත් අඩුම ගානේ දවසකට රුපියල් මිලියන සීයක් විතර ඒ අය වියදම් කරනවා. එනිසා මම ඔබට ස්තූතිවන්ත වෙන්නට ඕන ඔබ අද මෙහි ඇවිල්ලා ඉන්නේ ඇත්ත මිනිසුන් හැටියට. මේ රටට ආදරය කරන මිනිස්සු හැටියට. ඔබට දැනගන්නට ඕන ඔබේ ජීවිතේ වෙනස සිද්ධ වෙන ආකාරය කොහොමද කියලා. ඒ නිසයි මේ තරම් කැපවීම් කරගෙන ඔබ මෙතනට ඇවිල්ල ඉන්නෙ කියල මම දන්නව.
මම කියන්නට ඕනේ මම දේශපාලනයට ආවේ දේශපාලනයෙන් හම්බ කර ගන්නට හෝ දේශපාලනයෙන් යැපෙන්නට නොවෙයි. සම්ප්‍රදායික විදියට දේශපාලනයෙන් වාහනයකට පර්මිට් එකක් ගන්න නෙවෙයි. මම ආවේ මේ රට වැටෙන බව දැක්කම ඒක රැක ගන්නට ඕනෑ කියන චේතනාවෙන්. මෙහි සිටින මේ හැමදෙනාම මෙතන ඉන්නේ මේ රටට ආදරය කරන අයගේ කඳවුරේ. ඒ අය අපිත් එක්ක රැඳුණේ තමන්ට යන්න එන්න වෙනත් විකල්ප නැති නිසා නෙමෙයි. ඔබ දන්නවා ඔබේ දිස්ත්‍රික්කයේ ඔබ ඡන්දය දීලා පාර්ලිමේන්තු යවපු බොහෝදෙනෙක් අද ගෙම්බන් වගේ තැනින් තැනට පැනල ඔවුන්ට වාසියක් ලැබෙන තැන නැවතිල ඉන්න බව. ඔවුන් එහෙම ඉන්නේ තමන් එක්ක සමාන අදහස් තියෙන අය එක්ක නෙවෙයි. සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන දේශපාලන කණ්ඩායම් එක්ක. එහෙම එකතු වෙලා ඉන්නේ තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාදවලට තමන්ගේ ආත්ම ගෞරවය පාවා දීපු උදවියයි. හැමෝම අහන ප්‍රශ්නයක් තමයි දිලිත් ජයවීරට දේශපාලන පරිචයක් නැතුව මේ ඇවිල්ල ඉන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ වගේ විහින් විනාශ වෙන්නද කියලා? මම ඒ උදවියට එක දෙයක් කියන්නට ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගෙදර ගියේ ඔහුට දේශපාලන පරිචයක් නොමැති වීම නිසාම නොවෙයි. ඔහුට දේශපාලන පරිචයක් නැති බව ඇත්ත. නමුත් ඔහු ගෙදර යවන්න මුල් වුණේ ඔහුගේ සහෝදරයා සහ බෑනා පොඩ්ඩ. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් ඉෂ්ට කර ගන්නට බැරි වුණු තැන බාප්පා එළවන තැනටම වැඩ කටයුතු කළේ ඔවුන්. ඒ අය අදත් ඇවිල්ල කරන්න හදන්නේ තමන්ට එදා කර ගන්න බැරි වුණු දේවල් ටිකයි. අපි හැමදාම ආදරය කරපු අර යුද්ධය ඉවර කරපු යුග පුරුෂයා අසනීපෙන් ඉද්දිත් කිහිලිකරුවක් වගේ තියාගෙන උස්සාගෙන ඇවිල්ලා වේදිකාවේ තියාගෙන පෙන්නමින් ඔහුගේ නමින් ඡන්ද ඉල්ලන්නේ එයාල එදා කරපු පව් ගෙවන්නට වෙන්න ඇති. මට බලයට කෑදර සහෝදරවරු නෑ. ඒ නිසා ඒක මට වෙන්න විදියක් නෑ. මට සහෝදරවරු තුන් දෙනෙක් ඉන්නවා. එයින් දෙන්නෙක් පිටරට දැන් අවුරුදු විස්සක් විතර තිස්සේ. අනික් එක්කෙනා ගුවන් හමුදාවේ වෛද්‍යවරයෙක්. ඒ නිසා මාව එළවන්න හදන සහෝදරවරු මට නෑ. හරිම ආදරයෙන් සෙනෙහසින් ඒකට බැඳිල ඉන්න සහෝදරවරු තමයි මට ඉන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ විදියට මට දෙන්න තියෙන්නේ මාව එළවන්න මගේ ගෙදර සහෝදරවරු නැති බවයි.”
කුරුණෑගල – සුනිල් එස්. පැල්ලන්දෙණිය