12
මෙරට ජනතාව සිටින්නේ අලුත් දේශපාලන පෙරළියක් පිළිබඳ අපේක්ෂාවෙන් බව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (10) ‘රට අනුරට’ මැයෙන් ජාතික ජන බලවේගයේ කෑගල්ල රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ 21 වැනිදා ඡන්දය එනතෙක් ජනතාව ඇඟිලි ගනිමින් බලා සිටින බව මම දන්නවා. හෙට ඡන්දෙ තිබ්බා නම් තවත් හොඳයි කියලා ජනතාව දැන් හිතනවා. අනෙක් දේශපාලන කඳවුරු සියල්ල දැන් කඩා වැටිලා. අපට එරෙහිව අවලාද, අසත්‍ය තොරතුරු, කරුණු විකෘති කිරීම් හැර දැන් ඔවුන්ට කිසිවක් ඉතිරි වෙලා නෑ. අද අනාගත සැලැස්මක් සහිත ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්ව තිබෙනවා. තව දින කිහිපයයි, ඡන්දයට තිබෙන්නේ. ඒ දින කිහිපයේ කැප වෙලා, මහන්සි වෙලා වැඩිම ජයග්‍රහණයක් මේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අරන් දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.
දැන් රාත්‍රී 8.00ටත් කිට්ටුයි. ඔබේ දෑස් බලාපොරොත්තුවලින් බර වෙලා බලාගෙන සිටිනවා. ඔබ දශක ගණනාවකට පසු ලංකාවේ අලුත් දේශපාලන පෙරළියක් පිළිබඳව අපේක්ෂාවෙන් බලා සිටිනවා. මේ රටේ ජනතාව අවස්ථා ගණනාවකදීම ආණ්ඩු හදලා, ආණ්ඩු පෙරළලා ඇති තරම් හෙම්බත් වෙලා සිටිනවා. මේ 21 වැනිදා ජනතාව ගන්නේ රට අලුත්ම මාවතකට හරවන තීන්දුවක්. අපි ඔබට එකක් කියනවා. ඔබේ බලාපොරොත්තු බිඳකින්වත් බිඳ වැටෙන්න අපි ඉඩ තියන්නේ නෑ, ඒ බලාපොරොත්තු ජයග්‍රාහී ලෙස කෙළවර කිරීමට අපි මැදිහත් වෙනවා. මේ විනාශකාරී දේශපාලනයේ විපාක අපි දශක ගණනාවක් පුරා දැක්කා. මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් වෙනවා. පුතාලට අනාගතය සඳහා පාර හදා ගන්නවා. මේක තමයි දිගටම වුණේ.
ඡන්දෙ කරන්න ගෙවල් තියා ගන්නවා. කොළඹින් ඉන්න ගෙවල් තියා ගන්නවා. නුවරඑළියට ගිහිල්ලා හුළං වදින්න ගෙවල් ගන්නවා. වෙරළ තීරයට ගිහිල්ලා හුළං වදින ගෙවල් ගන්නවා. දරුවන්ට උගන්වන්න එංගලන්තේ ගෙවල් ගන්නවා. ඒ විදිහට තමයි ඒ අය දේශපාලනය කළේ. ඒ නිසා දීර්ඝ කාලයක් මේ පාලක කණ්ඩායම් ජනතාවගේ සතුරන් බවට පත්වෙලා මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරමින් මේ රටත්, ජනතාවත් විපතට පත්කළා. ඒ අය සැපත උරුම කර ගන්න රට වැට්ටුවා. ජනතාව දුප්පත් වුණා. ඒ අය පොහොසත් වුණා. මෙය වෙනස් කළ යුතු යැයි ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව අපි කාලාන්තරයක් පුරා දේශපාලනය කරමින් ඉන්නවා. මේ මස 21 වැනිදාට අපේ ජයග්‍රහණය නියතයි. සහතිකයි.
අපි ඉතාමත් සැලසුම් සහගතව මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ පිටුපස සජිත් ප්‍රේමදාස මහතා ගාට ගාට එනවා. රට ගොඩගැනීම පිළිබඳව නොවෙයි. අඩුම තරමේ තමන්ට අනන්‍ය වූ ඡන්ද ව්‍යාපාරයක්වත් ඔවුන්ට කර ගන්න බෑ. අපි එකක් කළොත් ඒක එයත් කරනවා. අපි වැඩේ මෙගා සයිස් එකට කරනවා. එයා මයික්‍රෝ සයිස් එකට කරනවා. මැතිවණ ව්‍යාපාරයකදී ජනතාව ඉතා හොඳින් සංවිධාන කරන්න ඕනෙ. පස්සේ රට හදන බලවේග එකතු කරන්න ඕනෙ. ඒ බලවේග අතරට තමයි මේ බලය මාරු වෙන්නේ. රට හදන්න දැනුම, ඥානය තිබෙන කණ්ඩායම් අවශ්‍යයි. ඒ සඳහා රටේ විවිධ ක්ෂේත්රවල සංවිධාන අපි ගොඩනැඟුවා. විවිධ ක්ෂේත්රවලට සම්බන්ධ විද්වතුන්, අත්දැකීම්, දැනුම පළපුරුද්ද තිබෙන අය අපි එකතු කළා. මේ රට භාර ගන්න සූදානම්. භාර ගත් පසු රට ගොඩනඟන්න සමත් දැනුම තිබෙන කණ්ඩායම් අපි එකතු කළා. වෘත්තීය සමිති ගොඩනඟලා ආයතන බිඳවට්ටන වැඩ නොකර අනාගතයේ එම ආයතන සහ වෘත්තීය සමිති ව්‍යාපාරය එක්ව නිෂ්පාදනය වැඩි දියුණු කර, රට ගොඩනඟන්න හැකි වන ආකාරයේ වෘත්තීය සමිති ව්‍යාපාර භාවිතයක අපි නිරතවී සිටිනවා. ගොවි ජනතාව එකතු කර දැවැන්ත ගොවි ව්‍යාපාරයක් ගොඩනැඟුවා. ව්‍යාපාර හා කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර ගොඩනැඟුවා. ඒ නිසා මේ මැතිවරණය අපි ගෙන යන්නේ මැතිවරණයෙන් පසු රට ගොඩනැඟීමට අවශ්‍ය වන ශකිත්මත්ම බලවේගය ඒකරාශී කරගෙනයි.
ජාතික ජන බලවේගය මේ ඡන්දයට අවතීර්ණ වෙලා තිබෙන්නේ එය ජයග්‍රහණය කරන්න. මෙතෙක් මේ රටේ ආරම්භ වු කැත පන්නයේ දේශපාලනය අපි නතර කරන්න ඕනෙ. ඡන්දයක් එනකොට එහෙට පනිනවා. මෙහෙට පනිනවා. එහෙන් ගාණ ගන්නවා. මෙහෙන් ගාණ ගන්නවා. ලංකාවේ තිබෙන්නේ මොන තුට්ටු දෙකේ දේශපාලනයක්ද? ලෝකයේ කොහෙවත් මේ වගේ කැත ලජ්ජාසහගත දේශපාලනයක් නෑ. සමාජයටම දැන් මේ එහෙන් මෙහෙන් ගන්න එක එපා වෙලා තිබෙන්නේ. ඒක තිත්ත වෙලා තිබෙන්නේ.
ආණමඩුවේ ගුරුවරියක් දණ ගස්සලා ගුරු පරපුරට නින්දා කළ මිනිහෙක්, දැන් සජිත්ගේ වේදිකාවේ. ක්‍රිකට් කෑවා කියලා සජිත්ට කෑගහපු තිලංග සුමතිපාලත් දැන් සජිත්ගේ වේදිකාවේ. පසුගිය කාලේ මහා පරිසර විනාශයක්, කැලෑ විනාශයක් කළැයි කියපු රිෂාඩ් බදියුදීනුත් දැන් සජිත්ගේ වේදිකාවේ. රිෂාද් බදියුදීන්ට විරුද්ධව සීඅයිඩීයට ගිහිල්ලා පැමිණිලි කළ පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන්වහන්සේත් අද සජිත් ගාව. ගස් කපපු කෙනත් එතැන. ගස් රකින්න ගිය කෙනත් එතැන. මොන නිර්ලජ්ජිත දේශපාලනයක් ද මේ? අර්ජුන රණතුංග ක්‍රිකට්වල ආරක්ෂකයා හැටියට පෙනී සිටියා. තිලංග සුමතිපාල ක්‍රිකට් විනාශ කළා කියලා ඔහු කිව්වා. දැන් දෙන්නම එකට සජිත්ගේ වේදිකාවේ. දැන් මාසෙකට විතර කලින් චම්පික රණවක කිව්වේ මොකක්ද? සජිත්ට තිබෙන්නේ ලාමක ටිං ටිං අදහස් කිව්වා. දැන් ඒ චම්පික රණවක අන්න සජිත්ගේ වේදිකාවේ. රිෂාඩ්ට එරෙහිව ජාතිවාදී වේදිකාවල නැග්ග චම්පික දැන් රිෂාඩ්ලා එක්ක එකම වේදිකාවේ.
සජිත් මාතර රැස්වීම්වලට යනකොට රිෂාඩ් බදියුදීන් හංගලා චම්පික අරගෙන යනවා. නැඟෙනහිර රැස්වීම්වලට යනකොට චම්පික හංගලා රිෂාඩ්ව අරගෙන යනවා. මේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය ද? ඒ නිසා මේ ඡන්ද කාලෙ බැලුවත් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තිබෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි. අපි ඔය පාර්ලිමේන්තුවේ අපරාධවලට හවුල් වු, වංචාවලට හවුල් වු, එහෙට මෙහෙට පැනපු, ජාතිවාදය අවුස්සපු කිසිවකු ජාතික ජන බලවේගයේ වේදිකාවට ගන්නෙත් නෑ. ඒ නිසා මේ ටිකම ඇති කවුද හොඳ, කවුද නරක කියලා තෝරා ගන්න. මේ 21 වැනිදා අපි දිනමු. ඊළඟට පාර්ලිමේන්තු ඡන්දයෙන් දිනමු. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලවත් සංශෝධනයක් ගේනවා. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. මේ විකිණෙන, විකුණන දේශපාලනය නතර කරන්න ඕනෙ.
මහජනයාගේ ධනය නාස්ති කළ අය, එකට තියල පරාජය කරන්න මේ 21 වැනිදා රටේ මහ ජනතාව තීන්දු කර හමාරයි. ඉන්පසු මේ කැත මජර දේශපාලන පොරපිටිය, මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය අපි සුද්ද කර දානවා. ඊට පස්සේ පියවරෙන් පියවර මේ රට ගොඩනඟන්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි සැලසුම් කර තිබෙනවා.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය ධම්මික පටබැඳි මහතාද මෙහිදී අදහස් දැක්වීය.
උපාලි කරුණාරත්න