Home Politics News Room : රාජ්‍ය මැදිහත්වීමෙන් මහවැලි කලාපවල ජනතාවගේ ගැටලුවලට විසඳුම්

News Room : රාජ්‍ය මැදිහත්වීමෙන් මහවැලි කලාපවල ජනතාවගේ ගැටලුවලට විසඳුම්

1
0

මහවැලි කලාපවල ජනතාව මුහුණදෙන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට රාජ්‍ය මැදිහත්වීම ලබා දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මාතලේ, විල්ගමුව නගරයේදී පෙරේදා (11) පැවති ජන හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අපි දේශපාලන පක්ෂයක් විදිහට වැඩ කළ බලවේගයක්. ලග්ගල ආසනය ගත්තත්, විල්ගමුව නගරය ගත්තත් එදා මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාමීය ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කරගෙන රට ගොඩනඟන්න හදපු වැඩපිළිවෙළත් එක්ක මේ ගම්මාන සංවර්ධනය කරන්න පටන් ගත්තා. අද නගර බවට පත්වෙලා තිබෙනවා. එදා දුෂ්කර ගම්මාන ලෙස හැඳින්වූ මේ ප්‍රදේශ අද මහා දැවැන්ත සංවර්ධන ප්‍රදේශ බවට පත්ව තිබෙනවා. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් දේශීයත්වය මත පදනම් කරගෙන දේශීය ගොවියා, කම්කරුවා, ධීවරයා ආරක්ෂා කරන්න ඕනෙ. අපට ආවේණික, අපට ගැළපෙන අපේ ගම්මානවල තිබෙන පාරම්පරික ක්‍රමවේද, වගාවන්, කර්මාන්ත ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. අපි හදන ආණ්ඩුවකින් මේ මාතෘ භූමියට ගැළපෙන ප්‍රතිපත්ති වගේම මේ මහ පොළොව නැවත වැඩබිමක් බවට පත් කරනවා.

මේ මහවැලි කලාපවල ගැටලු තිබෙනවා. ඉඩම්වල නිරවුල්භාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. දරුවන් පාසල්වලට ඇතුළත් කරගන්න ප්‍රශ්න තිබෙනවා. මේ වන විට අපි ඒවා හඳුනාගෙන තිබෙනවා. ඒවාට විසඳුම් අප ළඟ තිබෙනවා. මේ රටේ මහවැලි කලාපවල තිබෙන ප්‍රශ්න විසඳන්න රාජ්‍ය මැදිහත්වීම දෙන්න අපි සූදානම්. හැමදාම අපි කරන්නේ ප්‍රශ්න විසඳනවා වෙනුවට නිලධාරීකරණයට යටවෙලා වෙනත් විකල්පවලට යෝජනා හදන එක. මහවැලි කලාපවල ජනතාවගේ ගැටලු විසඳීමට අවශ්‍ය නීතිරීති එම ව්‍යාපෘතිවලම තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නත් අපි කටයුතු කරනවා. මේ ප්‍රදේශවල බොහෝ තරුණ පිරිසක් පතල් කර්මාන්තයේ නියැළෙනවා. ගමේ තරුණ තරුණියන්ට එහි ප්‍රතිලාභ ගන්න වැඩපිළිවෙළක් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. මේ මහ පොළොවේ වැවෙන සෑම බෝගයක්ම අපි වගා කළ යුතුයි. ඒ වගේම ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරන්න දේශපාලන වේදිකාවේ පොරොන්දුවලින් එහාට ගිය ප්‍රායෝගික වැඩපිළිවෙළක් සමඟ අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටිනවා. ඒ පාඩම අපි මහින්ද චින්තනයෙන් ඉගෙනගෙන තිබෙනවා. මේ රටේ දරුවන්ගේ සහ මව්පියන්ගේ අනාගතය පිළිබඳව මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙනවා. මේ රටේ සෑම ග්‍රාම සේවා වසමකම ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කරන්න සංවර්ධන නිලධාරීන් බලගැන්විය යුතුයි.

ග්‍රාමීය බැංකු හරහා එම ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය දිය යුතුයි. ග්‍රාමීය බැංකුවලට අවශ්‍ය මූල්‍ය සහාය දෙන්නත් අපි මැදිහත් වෙනවා. සෑම ආසනයකම එම ආසනයට ආවේණික කර්මාන්තයක් නොමැති නම් එම කර්මාන්ත ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. දේශීය සහ විදේශීය ආයෝජකයන් හරහා එම කර්මාන්ත ගෙන ඒමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පත් කිරීමේ වගකීම ඔබ භාර ගන්න. මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබ භාර ගන්න. ඔබ මේ මැතිවරණය ජයග්‍රහණය භාර ගන්නවා නම් අනාගතයේදී මේ රට දියුණු රටක් බවට පරිවර්තනය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ භාර ගන්නවා.”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි

“රටේ අනාගතය තීන්දු කරන ජනාධිපතිවරණයක් අබියස අද අපි ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතාට උදව් නොකරන්නේ ඇයි කියා ඇතැමුන් මගෙන් අහනවා. සෝමාවතිය, නාගදීපය, සේරුවිල යන්න පාරවල් හදලා නිදහස් කර දුන්, මගේ රටේ තරුණ තරුණියන් පෙට්ටියෙන් එන යුගය නතර කළ සහ මගේ භූමියට ආඩම්බරයක් ගෙනත් දුන් මහින්ද රාජපක්ෂ මහතා දාලා යන්නේ නෑ. අපේ මව්බිමට ආදරේ ඕනෑම කෙනෙක් මහින්ද රාජපක්ෂට ආදරෙයි. අපට උතුරට යන්න නොහැකි වුණා. තමන්ගේ දරුවන්ට අනතුරක් නොවන්න මව්පියන් එදා බෝධි පූජා පැවැත්වූවා. බස් එකේ අම්මයි තාත්තායි එකට ගියේ නැති රටක් මේක. මේ රටේ පැවති යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ මහතාට. ජනතා විමුක්ති පෙරමුණත් මේ රටට විශාල විනාශයක් කළා. මිනිස් ඝාතන කළා. රටේ සම්පත් විනාශ කළා. මිනිසුන්ට විවිධ හිංසන කළා. රට අඳුරට ඇද දැම්මා. ඕනෑම ආයතනයක් කඩා වැටෙන්න ජනතා විමුක්ති පෙරමුණේ දෙන්නයි ඕනෙ. රට බංකොලොත් කරන්නෙත් ඔවුන්මයි. විකුණන්න එපා කියන්නෙත් ඔවුන්මයි.

ආබාධිත සෙබළු, විශ්‍රාමික සෙබළු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හිටගෙන ඉන්නවා. ඔවුන් යහපාලන ආණ්ඩුව කාලයේ කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතාවල සිටින අවස්ථාවල නායකත්වය දුන්නේ මම. එදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ලිපියක් අරන් දුන්නේත් මම. මම මාස එක හමාරක් හිරේ ගියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කළේ එක ලියුම් කෑල්ලට විශාල විනාශ සිදු කරන එකයි. ”

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – සුලෝචන ගමගේ

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here