28
- මෙසේ දිගටම ගියොත් සංවර්ධිත රටක් යනු තවත් වචනයක් පමණක්ම නොවේ – අගමැති දිනේෂ් ගුණවර්ධන
- මෙය අත්හදා බැලීම් කරමින් ඉන්න සුදුසු අවස්ථාවක් නොවෙයි – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
- වැරදි තීරණයක් ගත්තොත් ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් වීම වළක්වන්න බෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ
- රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සිටියා නම් එතුමාගේ සහය ලැබෙන්නෙත් රනිල්ටයි – හිටපු ඇමැතිනි තලතා අතුකෝරළ
- බංකොලොත්භාවයෙන් වේගයෙන්ම මිදුණු රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් වුණා – හිටපු ඇමැති චන්දන කත්‍රිආරච්චි
- පසුගිය සමයේ පැවති පෝලිම් යුගය මේ වන විට ඇතැමුන්ට අමතක වෙලා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක
- දරුවන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් රනිල් නැවතත් ජනපති කරවමු – ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
- සමාජවාදි පාලනයනක් යටතේ දියුණු වූ රටක් අද ලෝකයේ නැහැ – නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර
මාලිමාව රට පුරා වෛරය වපුරා ඔවුන් බලය ලබාගත හොත් අවසානයේ රටට සිදු වන්නේ කුමක්දැයි ජනතාව සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ කැස්බෑව, පිළියන්දල, සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පෙරේදා (12) පැවති ‘රනිල්ට පුළුවන්’ ජන රැලිය අමතමිනි.
විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහභාගි වූ මේ ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය:
“එදා අනුර කුමාරට භාර දුන් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටු කළා නම් අද රටේ කෘෂිකර්මාන්තය දියුණු වී තිබිය යුතුයි. ප්රතිපත්තියකින් තොරව වෛරය පමණක් වපුරන ඔහුගේ වැඩපිළිවෙළ රට විනාශය කරා ඇද දමනවා. සියල්ල නොමිලේ දෙන බව කියන සජිත් මේ වන විටත් පරාජය පිළිගෙන අවසන්. එබැවින් සජිත් ප්‍රේමදාසට සහ නාමල් රාජපක්ෂට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් බව ජනතාව අමතක නොකළ යුතුයි.
“ලබන සතිය අවසන් වන විට ඡන්දය දී තමන්ගේ අනාගතය තීරණය කිරීමට මේ රටේ ජනාතවට අවස්ථාවට ලැබෙනවා. ඒ මත ජනතාවගේත්, රටේත් අනාගතය තීරණය වෙනවා. වසර දෙකකට පෙර රටේ ජනතාවට ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ නොතිබූ අවස්ථාවේ මේ එක නායකයෙක්වත් ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර දීමට ඉදිරිපත් වුණේ නැහැ. එදා ඒ නායකයන් කොහෙද හිටියේ කියා මම අහනවා. අද ජනතාව ඉදිරියට පැමිණ ඡන්දය ඉල්ලා සිටියත් එදා ඔවුන් දකින්න වත් හිටියේ නැහැ. මේ රට දියුණු කිරීමේ සැලස්ම අප ජනතාවට ඉරිපත් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
“එහෙත් හිටපු කෘෂිකර්ම ඇමැති අනුර කුමාර කියන්නේ තමන් මේවාට සම්බන්ධ නැති බවයි. අප එළවා, මාලිමාවට ඡන්දය දෙන්නැයි ඔවුන් කියනවා. මාලිමාවට ඡන්දය දුන්නොත් මොකද වෙන්නේ? ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ යනවා. ඩොලරය රුපියල් 370 වන විට දරාගන්න බැරි වුණා නම් එය 400–420 වන විට දරාගන්න පුළුවන්ද? කියා සිතිය යුතුයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව අයවැයක් හදලා දෙන්නැයි මම කිවුවා. ඔවුන්ගේ අය වැය පරතරය රුපියල් බිලියන 4,000යි. ඔවුන්ගේ අය වැය අනුව රුපියලේ අගය අඩු වෙනවා. එවිට ඩොලරය රුපියල් 420ට යනවා. එවිට මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන්නේ නැහැ. අද අනුරලා කතා කරන්නේ ගණන් වහලා. ඔවුන් ජනතාවට ඇත්ත කියන්නේ නැහැ. ‘උන් හොරු, උන් අයින් කරලා දාලා අපි බලය ගන්නවා’ කියනවා, ‘අපි හොරුන්ගෙන් මුදල් අය කරගන්නවා’ කියනවා.
“අපි දූෂණ විරෝධි නීතිය ගෙනාවා. මේ කටයුතු සඳහා එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මුදල් නැවත ලබාගැනීමට නම් අප තවත් පියවර කිහිපයක් ගත යුතුයි. අපරාධයකින් අත්පත් කරගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත අප ඉදිරිපත් කර තිබෙනවා. ඒක සම්මත කරගන්නා තෙක් මේ කටයුතු කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේපාල අවුරුදු තුනකින් හොයාගත්තේ මොනවාද? ඔහු නඩු දැම්මේ කාටද? කාගේ දේපළද ආපසු ගත්තේ? කියා මම අහනවා. ඒ නිසා මේ විදිහට බොරු පොරාන්දු දෙන්න එපා කියලා මම අනුර කුමාරට කියනවා. බදු අඩු කරන බවත් ඔවුන් කියනවා. ගෝඨාභය රාජපක්ෂ කරපු දේ ආපසු කරන්න අවශ්‍යද? මා කියන්නේ ජනප්‍රිය දේවල් නොවෙයි. මා සැම විටම ඇත්ත කියනවා. ඒ නිසා මේ අයවැය පරතරය පියවාගන්නේ කෙසේද කියා මාලිමාව රටට කිව යුතුයි.
“ඔබ සිතිය යුත්තේ ඔබේ සහ ඔබේ දරුවන්ගේ අනාගතය පිළිබඳවයි. නැත් නම් අපේ රටත් ග්‍රීසිය, ආර්ජන්ටිනාව වැනි තත්ත්වයට පත් වනවා. එය වළක්වා ගැනීමටයි මම මේ උත්සාහ කරන්නේ. රටත්, ආර්ථිකයත් බේරාගන්න සැප්තැම්බර් 21 දා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලනවා.”
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැඟෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව සපයා දීමට කටයුතු කළ නායකයෙක්. බංකොලොත් වී තිබූ රටක් නිවැරදි කළමනාකරණයක් තුළින් වේගයෙන් යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේ එතුමායි. මේ රටේ සුවහසක් කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීමට කටයුතු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස විද්‍යා පීඨ ආරම්භ කළා. ගුරු පුහුණු මධ්‍යස්ථාන බහුතරයක් ආරම්භ කළා. මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරමින් මෙතෙක් දුර පැමිණි මාවතේ නොනැවතී ගමන් කළ හොත් සංවර්ධිත රටක් යනු තවත් වචනයක් පමණක්ම නොවන බව කිව යුතුයි. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමගේ ජයග්‍රහණයට ඔබේ සහාය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”
අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:
“නායකයන් බිහි වන්නේ අර්බුදකාරි අවස්ථාවලදීයි. නායකත්වය යනු අභියෝග භාර ගැනීම මිස බයේ පැන දිවීම නොවෙයි. එදා බයෙන් පැන ගිය අය අද ජනාධිපති අපේක්ෂයන් බවට පත් වී සිටිනවා. ඔවුන්ට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්නවත් සුදුසුකම් තිබෙනවාද කියා ඔබ ප්‍රශ්න කළ යුතුයි. මේ රටේ සිටින නායකයන් පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාගැනීමට එය හොඳ අවස්ථාවක් වුණා. පසුගිය කාලයේ බංගලාදේශයෙන් ගත් ණය ගෙවීමටත් ශ්‍රී ලංකාව සමත් වුණා. එදා අපට ණය දුන් බංග්ලාදේශය අද මුහුණ දී තිබෙන අර්බුදය නැවතත් අපට පාඩමක් කියා දෙනවා. මෙය අත්හදා බලන්න සුදුසු අවස්ථාවක් නොවෙයි. අද රටේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් පිබිදීමක් තිබෙනවා. සීයට පනහකට වැඩි ප්‍රතිශතයකින් එතුමා ජයග්‍රහණය කරවීමට එක් වන ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.”
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා:
“පසුගිය පෝලිම් යුගය අද ඇතැමුන්ට අමතක වෙලා. ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ මේ රට ස්ථාවර කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. මේ වන විට ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය වී රට ස්ථාවර වී තිබෙනවා. ලබන වසරේ රැකියා ලක්ෂයක් දීමට සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳාම වර්ධනය කිරීමටද සැලසුම් සකස් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වන විටත් ආර්ථික පරිවර්තන පනත ගෙන ඒමටද කටයුතු කර තිබෙනවා. මේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යා හැකි වුව හොත් බදු සහන සලසා දීමටද අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මෙම ආර්ථික වැඩපිළිවෙළ බිඳදැමීමට කටයුතු නොකරන ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා:
“සැප්තැම්බර් 21 දා අප මේ රටට පත් කරන්නේ බියගුලු නායකයෙක් නොවෙයි; අභියෝග හමුවේ පලා නොයන ඊට නිවැරදි විසඳුම් දිය හැකි නායකයෙක්; ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබිය හැකි නායකයෙක්; ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් මේ රට දියුණුව කර ගෙන යන නායකයෙක් බව කිව යුතුයි. ඒ නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ජනාධිපතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ සිටින පිරිස අතරන් අභියෝගය භාර ගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. ජනතාව මෙවර වැරදි තීරණයක් ගතහොත් ශ්‍රී ලංකාව බංග්ලාදේශයක්, මාලදිවයිනක් බවට පත් වීම වළක්වන්න බෑ.”
හිටපු ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය:
“රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අද ජීවතුන් අතර සිටියා නම්, එතුමාගේ සහයෝගය ලැබෙන්නේද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බව විශ්වාසයි. එදා ආර්. ප්‍රේමදාස මහතාට දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ එය පරාජය කිරීමට නායකත්වය ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. පක්ෂය රැකගෙන, ජනතාවත් රැකගෙන දේශපාලන නායකත්වයක් දුන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. මේ රටට ව්‍යසනකාරි අවස්ථා පැමිණි සෑම අවස්ථාවකම රට බේරාගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එම නිසා කිසිම බයක් සැකක් නැතුව ඔබේ ඡන්දය එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”
ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා:
“සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය හොර මුදල් අච්චු ගහලා නීතියේ රැහැනට හසු වුණා. එහෙම අයට රට පාලනය කරන්න පුළුවන්ද? ඒ වගේම එවන් පුද්ගලයෙකුට මේ රට භාර දෙන්න කියා ඉල්ලා සිටීමට සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද කියා මා ප්‍රශ්න කරනවා. සිසු දරුවන්ට වසර දහතුනක අධ්‍යාපන අයිතිය වගේම ජනතාවට, අස්වැසුම දුන්නේ, හෘදය රෝගීන්ට නොමිලේ ස්ටෙන්ත් දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. මේ එතුමාගේ සේවයෙන් අංශු මාත්‍රයක් පමණයි. නොවැටෙන ආර්ථිකයක්, සංවර්ධිත රටක්, දරුවන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවතත් ජනාධිපති ධුරයට පත් කිරීමට එක් වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.”
නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා:
“අභියෝගයට මුහුණ දෙන්නෙ නැතිව, අභියෝගය රටෙන් පහව ගියාට පසුව බලය ඉල්ලන නිවට නායකයන් ගැන ජනතාව සිහි බුද්ධියෙන් සිටිය යුතුයි. සමාජවාදි කණ්ඩායමක පාලනය යටතේ දියුණු කළ රටක් අද ලෝකයේ නැහැ. අනුර කුමාර දිසානායක රට භාර ගත්තොත් ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් එහා ගිය රටක් බවට පත් වනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට මේ යුගයේ අවශ්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය පමණයි. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප සියලු දෙනා කැප වෙමු.”
හිටපු ඇමැති චන්දන කත්‍රිආරච්චි මහතා:
“අරාජිකව තිබූ රටක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්රාතිහාර්යක් පෑ ලෙස යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළා. ලෝකයේ බංකොලොත් භාවයෙන් වේගයෙන්ම මිදුණු රට ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක්ව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා වසර දෙකක් තුළ කළ විශිෂ්ට ආර්ථික කළමනාකරණයේ ප්රතිලාභ අද ජනතාව අත්විඳිමින් සිටිනවා. ජනතාව පෝලිම් ගානේ දුක් විඳින විට ඒ අභියෝගය භාර නොගත් පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් වේදිකා මත සිහින විකුණමින් සිටිනවා. අර්බුද අවස්ථාවේදී පලා ගිය නායකයන්ට නැවත රට භාර දුන්නොත් රටේ ඉරණම ඛේදනීය වනවා නොඅනුමානයි.”
ඡායාරූප – රංජිත් අසංක
ජයසිරි මුණසිංහ, මැද කොළඹ සමූහ – ආරියරත්න ගණේගොඩ