21
වතුකරයේ ජනතාවට සහන ලබා දුන් නායකයා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන අපේක්ෂක ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පසුගියදා (11) රත්තොට, හුණුගලවත්තේදී පැවති ජනහමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“එදා ආර්ථික, දේශපාලන, සමාජ අර්බුද හමුවේ රට බාර ගන්න කියන විට පලා ගිය නායකයන් දැන් නැවත වතාවක් රට බාර ගන්න වලි කනවා. මේ වන විට රටේ ආර්ථිකය හොඳ මට්ටමක තියනවා. වතුකරයේ ජනතාවගේ පඩි වැඩි කරලා තියෙනවා. ඒ නිසා කළගුණ දත් ජනතාව හැටියට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව පෙළගැසී ඡන්දය ලබා දෙන බව ඉර හඳ වගේ විශ්වාසයක් තියනවා. එදා ගෑස්, කිරිපිටි, තෙල් පෝලිම්වල අපි සියලු දෙනා දුක් වින්දා. අද ඒ තත්ත්වය නැහැ. රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා සියලු ජනතාව එක පෙළට විවිධ අමාරුකම් වින්දා. අප සියලු දෙනා එකා වගේ කළ කැපවීම නිසා මේ යහපත් තත්ත්වය උදා වෙලා තියෙනවා. මේ වන විට දේශපාලන අවිනිශ්චිත තත්ත්වය නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන් ඉන්නේ. අත්දැකීම් නැති, පළපුරුද්ද නැති නායකයෙක් රටේ නායකයා බවට පත්වුණොත් මේ සිදු කරනගෙන ගිය වැඩපිළිවෙළ නවතිනවා. අපේ රටට විදේශ විනිමය වගේම වෙනත් ක්‍රම මඟින් ලබා දෙන සහනයන් නොලැබී යෑමේ අවදානමක් මතු වෙනවා. නැවත රට අගාධයට යන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව සිතා වත්මන් ජනපතිට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”
මාතලේ – මහේෂ් රුවන්