6
ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ හා පිතිකාරිණී හර්ෂිතා සමරවික්රම අගෝස්තු මාසයේ අයිසීසී ක්රිකට් ක්රීඩකයා හා ක්රීඩිකාවට හිමි සම්මාන දිනා ගනියි. එකම මාසයකදී ලොව හොඳම ක්රිකට් ක්රීඩකයා හා හොඳම ක්රීඩිකාව යන සම්මාන දෙකම ශ්රී ලංකා නාමය ඉදිරියේ සටහන්වීම දුර්ලභ අවස්ථාවකි.
වෙල්ලාලගේ සමඟ මෙම අයිසීසී පිරිමි සම්මානය දිනා ගැනීමට දකුණු අප්රිකා දඟ පන්දු යවන ක්රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්රීඩක ජේඩන් සීල්ස් තරග බිමේ සිටියද ඔවුන් පසුපසට ඇඳ දමා ඉදිරියට දුනිත් වෙල්ලාලගේ පැමිණියේය. හර්ෂිතා සමඟ තරගයට අයර්ලන්තයේ ඕර්ලා ප්රෙන්ඩර්ගාස්ට් සහ ගේබි ලුවිස් ඇතුළත්ව සිටියද හර්ෂිතා සමරවික්රමට සම්මානය හිමි වූවාය. ඉතිහාසය පුරා ශ්රී ලංකා ක්රීඩකයෙකු මෙම සම්මානය දිනූ පස්වන අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඇන්ජලෝ මැතිව්ස් (මැයි 2022), ප්රභාත් ජයසූරිය (ජූලි 2022), වනිඳු හසරංග (ජූනි 2023) සහ කමිඳු මෙන්ඩිස් (මාර්තු 2024) අයිසීසී ක්රිකට් ක්රීඩකයා සම්මාන දිනා ගත්හ. අයිසීසී කාන්තා ක්රීඩිකාව සම්මානය දිනාගත් දෙවන ශ්රී ලංකා ක්රීඩිකාව සමරවික්රම වේ. 2024 සැප්තැම්බර්, 2024 මැයි සහ 2024 ජුලි යන මාසවලදී නායිකා චමරි අතපත්තු තුන් වතාවක් මෙම සම්මානය දිනාගෙන ඇත.
වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ නිමාවට පත්වූ ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේදී නොදැවී ලකුණු 67ක්, 39ක් සහ 2ක් ලබාගනිමින් තරගාවලිය 2-0ක් ලෙස ජයග්රහණය කිරීමේදී තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය. ඔහු තෙවැනි තරගයේදී ලකුණු 27කට කඩුලු 5ක් ඇතුළුව එම තරගාවලියේදී කඩුලු 7ක් දවාගෙන සෑම අංශයකින්ම දක්ෂතා අතරට පිවිසියේය.
හර්ෂිතා සමරවික්රම ආසියානු කුසලාන තරගාවලියේ හා අයර්ලන්ත සංචාරයේදී දක්ෂතා දැක්වීමෙන් කාගේත් අවධානයට පාත්ර විය. ඩබ්ලින්හි පැවති විස්සයි20 තරග දෙකේදී ශතකයක් සමඟ ලකුණු 151ක් රැස් කිරීමට හර්ෂිතා සමත් වූවාය. කාන්තා විස්සයි20 ලෝක කුසලානයට සති තුනකටත් අඩු කාලයක් තිබියදී ලැබුණු මෙම පිළිගැනීම ඉතා වැදගත් අවස්ථාවකි.
ප්රින්ස් ගුණසේකර