26
බංග්ලාදේශයේ ඇතිවූ අරගලකාරී තත්ත්වයෙන් පසු බංග්ලාදේශයේ ජීවත්වන හින්දු භක්තිකයන්ට එල්ල වූ ප්‍රහාර හෙළා දකිමින් ඉන්දියාවේ සිටින බංග්ලාදේශ ක්‍රිකට් පිල සමඟ ක්‍රීඩා නොකළ යුතු බවට ඉන්දියාව පුරා උද්ඝෝෂණ මතුවෙමින් පවතී. මේ හේතුවෙන් ඉන්දියා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අවලංගු කිරීමේ තර්ජනයට ලක්ව ඇත.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (19) චෙන්නායි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් මේ වන විට චෙන්නායි වෙත පැමිණ පුහුණුවීම් ආරම්භ කර තිබේ.
බංග්ලාදේශයේ හින්දු භක්තිකයන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා නොකළ යුතු බවට දැඩි ඉල්ලීම් මතුවෙමින්, Boycott Indo-Bangla Test යන හෑෂ් ටැගය ද සමාජ මාධ්‍යවල වේගයෙන් ප්‍රචාරය වීමට පටන් ගෙන තිබේ.
බංග්ලාදේශයේ පැතිර යන අරාජිකත්වය එහි සිටින සුළුතර හින්දු ජනයාගේ ජීවිතවලට තර්ජනයක් වී ඇති අතර, ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉවත්ව මොහොමඩ් යුනුස් පත් වූ පසුවත් හින්දු භක්තිකයන්ට එල්ල වන ප්‍රහාර අඩු වී නැත.
අරගලකරුවන් විසින් ආගමික ස්ථානවලට පහරදීම, කාන්තාවන් දූෂණය කිරීම වැනි වධ හිංසා අඩංගු වීඩියෝ දිනපතා සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් පවතී. මේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේද දැඩි විවේචන එල්ල විය. එබැවින් ඇතැම් හින්දු සංවිධාන මෙම ටෙස්ට් තරගමාලාව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා ඇත. ඉන්දියාව තුළ මතුව ඇති දැඩි කෝපය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.