18
පළමු වතාවට රට පොහොසත් කරන, ජනතාවගේ ජීවිත ලස්සන කරන ආණ්ඩුවක් හදන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (15) ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ නාවලපිටිය රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
“2019 මැතිවරණයෙන් පසුව අපි දැඩි පසුබෑමකට ලක්වුණා. ඒත් විවිධාකාරයේ රැවටීම්වලට භාජනය කළ ජනතාව අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්නා බවටත්, එය තේරුම්ගෙන ජාතික ජන බලවේගය වටා ඒකරාශි වන බවටත් අපට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ අනුව අපි පසුගිය වසර දෙක තුනක කාලයක් ඉතා සැලසුම්සහගත දේශපාලනයක නියැළුණා. අපේ විරුද්ධ පාර්ශ්ව පැරණි දේශපාලනයේම නියැළුණා. අපි රට පුරා යමින් ජනතාව පෙළගැස්සුවා. සංවිධානය කරමින් ආවා. ඒ අයට හිතාගන්නවත් බැරි පන්නයේ මැතිවරණ ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය ආරම්භ කළා.
මහනුවර දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවක් පැවැත්වුවා. අපේ සහෝදර සහෝදරියන් ගමක් ගමක් ගාණේ ගිහින් ජනතාව දැනුම්වත් කළා. ජාතික ජන බලවේගයේ මේ නැඟිටීම සහ පිබිදීම ගැන අපේ විරුද්ධ පාර්ශ්වවලට හිතාගන්න බැරි වුණා. දැන් ඒ අයගේ එකම ප්රයත්නය අපට විරුද්ධව අවලාද, අසත්‍ය තොරතුරු වැපිරීම සහ කුමන්ත්‍රණ ආරම්භ කිරීමයි. මේ 21 වැනිදා අපේ ජයග්‍රහණය ලංකා දේශපාලනයේ විශාල හැරවුමක්. දශක ගණනාවක් පුරා අපේ රටේ පුරවැසියාගේ තිබූ බලාපොරොත්තුවක්. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් මැතිවරණවලට සහභාගි වුණාට තමන්ගේ අපේක්ෂා, අරමුණු ඉටුකරගත හැකි පාලනයක් ගොඩනඟා ගන්න ඔවුන් අසමත් වුණා.
නායකයන් පරාජය කරනවා, නැවත ගේනවා. ආණ්ඩු පරාජය කරනවා, නැවත ගේනවා. දැන්වත් මේ පාලකයන් හැදිලා ඇති කියලා හිතනවා. අවසානයේ ජනතාව හෙම්බත් වුණා. ප්‍රතිඵලයක් වුණේ නෑ නේද? අපේක්ෂා සියල්ල බිඳ වැටුණා. රට බංකොලොත් වුණා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දරුවන් රට දාලා යන්න පටන් ගත්තා. ඉස්පිරිතාලවල බෙහෙත් නැති වුණා. අධ්‍යාපනය කඩා වැටුණා. මත්ද්‍රව්‍ය, අපරාධ පැතිරුණු රාජ්‍යයක් නිර්මාණය වුණා. ජනතාවගේ ඇස් ඉදිරිපිට මේ විනාශය චිත්‍රයක් වගේ ඇඳෙන්න පටන් ගත්තා. ජනතාව මේ ව්‍යසනයෙන් ගැලවෙන්නෙ කවදා ද කිය කියා අපේක්ෂාවෙන් හිටියා. අන්න මේ 21 වැනිදාට ඒ අපේක්ෂා ජයග්‍රහණය කර ගත හැකි දිනය උදා වෙලා තිබෙනවා. අපේ රටේ අලුත් ආණ්ඩුවකින් ප්‍රධාන කාර්යයන් දෙකක් ඉටු කළ යුතුව තිබෙනවා. අපේ රට කඩා වැටීමට හේතු වූ කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ රටේ මේ දූෂිත දේශපාලන සංස්කෘතිය. දෙක තමයි මේ රටේ අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය.
මේ රට හදන්න නම් පළමුව මේ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෙ. මේ ප්‍රතිපත්තියක් නැති, කැත දේශපාලනය අපි අවසන් කරන්න ඕනෙ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ කැත දේශපාලන පිටිය සුද්ද කරන්න පටන් ගන්නවා. පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි. පාර්ලිමේන්තුව විසුරුවා මාස එක හමාරක වගේ කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය තියනවා.
පාර්ලිමේන්තුව විසුරුවාට පස්සේ එය සුද්ද කිරීමේ බලය ජනතාව අතට එනවා. මේ වගේ පාර්ලිමේන්තුවක් රටට ඕන නෑ. ජනාධිපතිවරණයෙන් පස්සේ අපි පාර්ලිමේන්තුව විසුරුවා දෙන්නම්. ඔබ ඒක සුද්ද කර දෙන්න. අපට විශ්වාසයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ලබන පාර්ලිමේන්තුවේ නෑ.
මහ මැතිවරණයෙන් පස්සේ අපි රටට ඵලදායක පාර්ලිමේන්තුවක් හදනවා. නීති රීති ශක්තිමත් කරනවා. මහජන දේපළ හොරකම් කළ අයට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. මහජන ධනය නාස්ති කිරීම නතර කරනවා. දේශපාලකයා පොදු නීතියට යටත් කරනවා. අපේ පාලනයක් යටතේ රටේ ප්රජාතන්ත්රවාදය රැකීමට අවශ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කරනවා. අපේ පාලනයක් යටතේ මේ රටේ පොලිසිය, හමුදාව දේශපාලකයන් ඉදිරියේ බාල්දු වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. පොලිසියේ මහත්වරුන්ගේත් රටේ හා ජනතාවගේත් ආරක්ෂාව හැදුවොත් අපත් ආරක්ෂා වෙනවා. එතකොට වෙනම ආරක්ෂාවක් අපට අවශ්‍ය වෙන්නේ නෑ. මේ පාලකයන් කරන්නේ, රටත් ජනතාවත් අත්හැර අනාරක්ෂිත කර ඒ අය වටේ ආරක්ෂක වළලු දාගන්න එක. අපි මේක නතර කරනවා.
දේශපාලනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. ගෞරවනීය සේවයක් කියලා, ජනතාවට ඒත්තු ගැන්වෙන විදිහට අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. දැන් දේශපාලකයා කොහොමද? ඇඟ පුරා රත්තරන් පොරවා ගෙන ජැන්ඩියට ඇඳලා සැප වාහනවලින් ඇවිත් බහිනකොටම ජනතාව දන්නවා මේ එන්නේ පට්ට හොරෙක් කියලා. ඒ අයගේ ජීවිත ගැන ජනතාව දන්නවා. මොනතරම් ධනය උපයා ගත්තත් ඒ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒ නිසා ඒ දේශපාලකයන් ගැන රටේ තිබෙන්නේ කැත අදහසක්. අපි මේ 21 වැනිදා සිට මේ නිර්ලජ්ජිත දේශපාලනය වෙනස් කරන්න පටන් ගන්නවා. අපේ රටේ මේ තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. ඒක වෙනස් කරන්න ඕනෙ. මේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳයි නම් මේ වන විට අපේ රට දියුණු කර තිබෙන්න ඕනෙ. මේ ආර්ථික ප්‍රතිපත්තිය දීර්ඝ කාලයක් පුරා අපේ රටට ගෙනාවේ භයානක ප්‍රතිඵල.
අපේ රටේ ආර්ථිකයට ජනතාව සම්බන්ධ වෙන්න ඕනෙ. අද විශාල පිරිසක් අපේ රටේ ආර්ථිකයෙන් පිටමං කර තිබෙන්නේ. ජනතාව ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕනෙ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩිදියුණු වෙන්න ඕනෙ. ඒකේ ප්‍රතිඵල සාධාරණ ලෙස පෙරළා ජනතාවට ගලාගෙන යන්න ඕනෙ. මූලධර්මය ඒකයි. රටේ හැම ප්‍රදේශයකම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පණ දෙන්න ඕනෙ. දැන් එය මුළුමනින්ම වට්ටලා තිබෙන්නේ. මේ පාලකයන් අපේ රටේ හැදුවේ කුඩා හෝ නිෂ්පාදනයක් තිබුණා නම් එය වට්ටලා මුළුමනින්ම බඩු ආනයනය කරන ආර්ථිකයක්. ඉන්දියාව රෙදි නිෂ්පාදනය කරනවා. අපි ගේනවා අඳිනවා. ඉන්දියාව බිත්තර නිෂ්පාදනය කරනවා. අපි ගේනවා, බඳිනවා. ඉන්දියාව බයිසිකල් හදනවා, ත්රීවිලර් හදනවා. අපේ ගේනවා, පදිනවා. මොකද කළේ. ඒ අය හදනවා, අපි බුදිනවා. අපි හදමින් තිබූ දේවල් පවා කඩා බිඳ දැම්මා. අපි මේ බඩු ගෙන්වන ආර්ථිකය වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම භාණ්ඩයක් හා සේවාවක්ම නිෂ්පාදනය කරන, නිෂ්පාදන ආර්ථිකයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ගොඩනඟනවා.”
උපාලි කරුණාරත්න