25
වමත් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු පුහුණුවීම්වල යෙදී සිටියදී දකුණු කලව පෙදෙසේ මස්පිඬු වේදනාවක් හටගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කොට පුනරුත්ථාපනය සඳහා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත යවා ඇත.
ඒ වෙනුවට 27 හැවිරිදි දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් සංචිතයට එක්කර ඇත. ගාල්ලේදී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයට විශ්ව ක්‍රීඩා නොකළද දිගින් දිගටම ටෙස්ට් සංචිතයේ පුහුණුවීම්වල නිරතව සිටියේය.
සංචිතයට කැඳවූ නිශාන් පීරිස්ට දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් වරම් දිනාගැනීමේ හැකියාව බොහෝ දුරට පවතී. දඟ පන්දු යවන්නකු ලෙස පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දු යැවීම පිළිබඳ ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී නායක ධනංජය ද සිල්වා කතා කළ අතර, එම අදහස් අනුව ඔහුගේ ස්ථානය පිළිබඳව යම් සැකයක් මතුව තිබේ. රමේෂ් මෙන්ඩිස් පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6ක් ලබා ගත්තද ඉනිම දෙකේදීම ලකුණු 184ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේය.
“පන්දු යැවීමට මගේ ලොකු ආසාවක් තිබුණේ නෑ. රමේෂ් මෙන්ඩිස් තමයි අපේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා. මම එයාට මුලින් අවස්ථාව දුන්නා. වරින් වර පීඩනයක් එල්ල කළත් මම බලාපොරොත්තු වූ පරිදි ඔහු පන්දු යැව්වේ නෑ. ඒ නිසා මම පන්දු යැවීමට තීරණය කළා. මගේ පන්දු යැවීමෙන් කණ්ඩායමට විශාල සාධාරණයක් වුණා” යැයි පළමු තරගයේදී ඕවර 19ක් යවා ලකුණු 63කට කඩුලු 3ක් බිඳ දැමූ ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේදී පැවසීය.
මීගමුව ක්‍රිකට් සමාජයේ නිත්‍ය දඟ පන්දු යවන්නා වූ නිශාන් පීරිස් පළමු පෙළ තරග 41කදී කඩුලු 172ක් දවාගෙන ඇති අතර, එහි සාමාන්‍ය 24.37කි. පසුගියදා දකුණු අප්‍රිකාවේදී නිමාවූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ පළමු නිල නොවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් කඩුලු තුනක් දවා ගැනීමට ඔහු සමත් විය. මේ දිනවල ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ කොළඹ පිලට නිශාන් පීරිස් එක්ව සිටී.
ප්‍රින්ස් ගුණසේකර