16
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලකුණු අතරට පැමිණීම වළක්වාලමින් ඇය ඇද බැඳ තබා ගැනීම එකම සැලසුම ක්‍රියාත්මක කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා පිල කඩුලු 6කින් පරාජය කිරීමට සමත් වූහ. මේ අනුව ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගයෙන් පරාජයවී ලකුණු සටහනේ සිව්වැනි තැනට පත්ව සිටී.
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති තරගයේදී වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 93ක් රැස් කළ අතර, ලෝක ශූර ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 94ක් ලබා ජය තහවුරු කර ගත්තේය.
කාසියේ වාසිය හිමි කරගත් නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද පළමු පන්දු 15දී ‘ලෙග් බයි’ ලකුණක් හැර කිසිදු ලකුණක් ලකුණු පුවරුවට එක්වූයේ නැත. ආරම්භක පිතිකාරිනි නායිකා චමරි අතපත්තු යළිත් වරක් අසාර්ථක කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා පන්දු බළඇණිය සමත් විය.
පාකිස්තානයට එරෙහිව පැවති තරගයේදී ලකුණු 6ක් වාර්තා කළ චමරි ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ලකුණු 3කට සීමාවූ අතර, පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත් කරමින් අනෙක් අන්තයේ සිරවී සිටි විශ්මි ගුණරත්න ලකුණු නොලබාම දැවී ගියාය. ඔස්ට්‍රේලියාවේ ‘නෝ බෝල්’ 3කින් ලැබුණු නිදහස් පහර 3ක් ද අසාර්ථකවීමෙන් එල්ල වූ පීඩනයෙන් අනතුරුව විශ්මි ගුණරත්න දැවී ගියාය.
ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 16ක් රැස් කළහ. ශ්‍රී ලංකා පිලේ සෙසු පිතිකාරිනියකට හෝ ලකුණු 5 සීමාව ඉක්මවා රැස් කිරීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නියෝ ඉඩ ලබා නොදුන්හ.
ජයග්‍රාහී ලකුණු 94ක ඉලක්කයක් කරා ගිය ඔස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකාරිනිය බෙත් මූනි පන්දු 38කදී හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 43ක් රැස්කළ අතර, එලිස් පෙරී පන්දු 15කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 17ක් සහ ඈෂ්ලි ගාර්ඩ්නර් පන්දු 15කදී හතරේ පහරක් සමඟ ලකුණු 12ක් රැස් කළහ. මේ සියල්ල වෙනුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම වැය කළේ ඕවර 14.2ක් පමණි.
මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව සිටින ‘ඒ’ කාණ්ඩයේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය එක් තරගයක් බැගින් ජය ගෙන ලකුණු දෙක බැගින් ලබා පිළිවෙළින් පළමු, දෙවන සහ තෙවන ස්ථානවල පසු වෙයි. ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලියේ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් ඉන්දියාව සමඟ මේ 9 වන දා පැවැත්වීමට නියමිත තරගය හා 11 වැනිදා නවසීලන්තය සමඟ තරගය ජයගත යුතු වේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 93 (ඕවර 20) හර්ෂිතා සමරවික්‍රම 23, නිලක්ෂිකා සිල්වා නොදැවී 29, අනුශ්කා සංජීවනී 16 (මේගාන් ෂට් 12/3, ෂොපී මොලිනුස් 20/2)
ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 94 (ඕවර 14.2) බෙත් මූනි නොදැවී 43, එලිස් පෙරී 17, ඈෂ්ලි ගාර්ඩ්නර් 12 (උදේශිකා කුමාරි 19/1, ඉනෝකා රණවීර 20/1, සුගන්දිකා කුමාරි 16/1).
ප්‍රින්ස් ගුණසේකර