27
නායක චරිත් අසලංක සිය ක්‍රිකට් දිවියේ රැස් කළ මංගල ද්විත්ව ශතකය හේතුවෙන් නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීම යටතේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දිවා රාත්‍රී අවසන් තරගයේදී කොළඹ පිල හමුවේ යාපනය කණ්ඩායම ලකුණු 92කින් පරාජයට පත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කොළඹ පිල ලකුණු 413ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස යාපනය කණ්ඩායමට ඕවර 47.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 321ක් පමණි.
ළහිරු මදුශංක ‘ඒ’ කාණ්ඩයේ මංගල ශතකය ලෙස ලකුණු 104ක් රැස් කළ අතර, පන්දු 86කින් ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 10කින් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 56ක් සහ මොහොමඩ් ශමාස් ලකුණු 49ක් ඉනිමට එක් කළහ.
පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිලේ මුල් කඩුලු 2 ලෙස කුසල් ජනිත් (0) සහ කුසල් මෙන්ඩිස් (1) ලකුණු 4ක් තුළ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි නායක චරිත් අසලංක ආරම්භ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 262ක දැවැන්ත සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 206ක් පමණක් වැය කරමිනි. අවිශ්ක පන්දු 113කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 126ක් රැස් කළ අතර, ඔහුගේ දැවී යෑමෙන් පසු සිව්වැනි සහ පස්වැනි කඩුලුවලට පිළිවෙළින් නුවනිඳු ප්‍රනාන්දු (20) සමඟ ලකුණු 69ක් සහ දසුන් ශානක (39) සමඟ ලකුණු 77ක් එක් කරමින් ක්‍රිකට් පිටියේ සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට අසලංක සමත් විය.
‘ඒ’ කාණ්ඩය යටතේ පැවති පන්දු 142ක් පමණක් වැය කරමින් ලකුණු 206ක් රැස් කළ අසලංකගේ ඉනිම හතරේ පහර 12කින් සහ හයේ පහර 16කින් අලංකාර විය. 27 හැවිරිදි අසලංක මින් පෙර ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී රැස් කළ ලකුණු 178 ඉහළම ඉනිම වූ අතර, එක්දින තරගයකදී රැස් කළ ලකුණු 110 ජාත්‍යන්තර පිටියේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
කොළඹ පිල – 413/6 (ඕවර 50) චරිත් අසලංක 206, අවිශ්ක ප්‍රනාන්දු 126 (ළහිරු මදුශංක 77/2, මතීෂ පතිරණ 85/2)
යාපනය පිල – 321 (ඕවර 47.1) ළහිරු මදුශංක 104, රොන් චන්ද්‍රගුප්ත 56 (දිලුම් සුදීර 53/3, චරිත් අසලංක 51/2, නුවන් තුෂාර 62/2, දසුන් ශානක 67/2)
නිරෝෂාන් ප්‍රියංකර