11
තමන් හෙට (28) දිනයේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට නියමිත බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසයි.
ඔහු ඊයේ (26) රාත්‍රියේ මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
එළඹෙන සාකච්ඡාව සඳහා යුක්රේනය හා ඇමරිකාව සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. යුක්රේන ජනාධිපතිවරයා එළඹෙන 28වැනි දා ඇමරිකාවට පැමිණෙන බවත්, එම සංචාරයේදී දෙරට පතල් ගිවිසුම අත්සන් කරනු ඇති බවත්, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ධවල මන්දිරයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී ප්‍රකාශ කළ බව යුක්රේන ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සිය ද වාර්තා කර තිබේ.
මීට පෙර යුක්රේන ජනාධිපතිවරයා මාධ්‍ය සමග අදහස් හුවමාරු කළ අවස්ථාවේදී කියා සිටියේ යුක්රේන පතල් සම්පත් පිළිබඳ රාමුගත ගිවිසුමකට යුක්රේනය හා ඇමරිකාව අත්සන් තබනු ඇති බවයි.
එම පතල් ගිවිසුමේ නව පිටපතට යුක්රේනයේ අනාගත ආරක්ෂාව සහතික කිරීම ඇතුළත් කර ඇති බවත්, එම පතල් ගිවිසුම අත්සන් කිරීමෙන් ඇමරිකාව යුක්රේනයට ලබාදුන් ආධාරවලට ගෙවිය යුතුව තිබූ ණයෙන් යුක්රේනය නිදහස් වනු ඇති බවත්, යුක්රේන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.