Home World News Room : වසර 11කට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන්යානය යළි සොයයි

News Room : වසර 11කට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන්යානය යළි සොයයි

0
0

මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 239 දෙනකු සමඟ මීට වසර 11කට පෙර අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඕෂන් ඉන්ෆිනිටි නමැති සමාගමක් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදටත් අබිරහසක් බවට පත්වී ඇති මැලේසියානු ගුවන් යානය සෙවීමේ නව මෙහෙයුම් ලබන මස ජාත්‍යන්තර කාන්තා දිනයට පෙර ආරම්භ කරන බව ඕෂන් ඉන්ෆිනිටි සමාගම ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 15,000ක වපසරියක් ආවරණය කරමින් ගුවන් යානය සෙවීමේ නව මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ඕෂන් ඉන්ෆිනිටි සමාගම සැලසුම් කර ඇති අතර, ඒ සඳහා මැලේසියානු රජය සමඟ මාස 18ක ගිවිසුමකට ද අත්සන් තබා ඇතැයි වාර්තා වේ. සොයා ගැනීමට නොහැකි වුවහොත් මුදල් නොගෙවීමේ පදනම මත ගිවිසුම අත්සන් කර ඇති බවත්, ගුවන් යානයේ කුඩා කොටසක් හෝ සොයා ගැනීමට හැකි වූයේ නම් එම සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් ගෙවීමට මැලේසියානු රජය එකඟ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීට පෙර 2017 වසරේදී ඔස්ට්‍රේලියාව, චීනය සහ මැලේසියාව ඒකාබද්ධව ඉන්දීය සාගරයේ වර්ග කිලෝමිටර් එක්ලක්ෂ විසිදහසක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුමත්, එම රටවල් ත්‍රිත්වයම 2018 වසරේදී සිදු කළ මෙහෙයුමත් ප්‍රතිඵල රහිතව අවසන් වූ අතර, අවසන් මෙහෙයුමට ඕෂනියා ඉන්ෆිනිටි සමාගම ද එක්වී සිටි බව වාර්තා වේ.

2014 වසරේ මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනයේදී මැලේසියාවේ ක්වාල ලම්පූර් ගුවන්තොටුපොළේ සිට චීනයේ බීජිං ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ එම ගුවන් යානය මිනිත්තු 38කට පසුව අතුරුදන් වූ අතර, එය එතෙක් මෙතෙක් ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ විශාලතම අබිරහස බවට පත්වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here