8
මිලියන දෙකකට අධික පලස්තීනුවන් ඉවත් කර ගාසා තීරය අත්පත් කරගැනීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලසුමට එරෙහිව අරාබි රටවල් විසින් ගාසා තීරයට ඩොලර් බිලියන 53ක විකල්ප ප්‍රතිසංස්කරණ සැලසුමක් අනුමත කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති අරාබි රාජ්‍ය නායකයන්ගේ හදිසි සාකච්ඡාවේදී එම සැලසුම අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊජිප්තුවේදි ගනු ලැබුවේ සමස්ත අරාබි දේශයේම සැලසුමක් බව අරාබි ලීගයේ ලේකම් අහමඩ් අබෝල් නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලසුම පිළිබඳ සඳහන් කිරීමකින් තොරව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ස්වේච්ඡාවෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගාසා තීරයෙන් පලස්තීනුවන් ඉවත් කිරිම අරාබි ලීගය තරයේම ප්‍රතික්ෂේප කරන බවය.
අරාබි රටවල් විසින් අනුමත කරනු ලැබූ ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ සැලසුමට අනුව එම කටයුතු අදියර තුනකින් ක්‍රියාත්මක වන බවත්, ගාසා තීරය නැවත ගොඩ නැඟීම සඳහා වසර ගණනාවක් ගතවනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගාසා තීරයේ නිවාස හා ගොඩනැඟිලිවලින් 90% ක පමණ ප්‍රමාණයක් අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම විනාශ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් අනාවරණය වී තිබේ.