11
සාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායම
කොළඹ රාජකීය – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 146 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය අද සිට දින තුනක් කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වේ. 1879 වසරේ ඇරඹි මේ තරගය ලෝක ඉතිහාසයේ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතුරින්, ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ්හි සාන්ත පීතර හා ඇල්ෆ්‍රඩ් කුමර විද්‍යාලය අතර මහා තරගයට පමණක් දෙවැනි වේ.
ඉතිහාසය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ රාජකීයන් අතරේ රංජන් මඩුගල්ල, අසන්තා ද මෙල්, ජෙහාන් මුබාරක්, කිත්රුවන් විතානගේ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන් ද සාන්ත තෝමස් විදුහලෙන් මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, ගයි ද අල්විස්, සාලිය අහංගම, කෞෂික් අමලීන්, කපිල විජේගුණවර්ධන, ජීවන් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා වැනි ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් කළහ.
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්. සේනානායක හා හිටපු අගමැති ඩඩ්ලි සේනානායක යන මහත්වරුන් සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් නිල් මහා සටනට පිවිසි අතර, ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල හා හිටපු කථානායක ශ්‍රීමත් ෆොරෙස්ටර් ඔබේසේකර යන මහත්වරුන් රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩා කළහ.
මේ දක්වා පැවති මහා තරග අතුරින් රාජකීය විද්‍යාලය 36ක් සහ සාන්ත තෝමස් විද්‍යාලය 35ක් ජයග්‍රහණ වාර්තා කර ඇති අතර, අනෙක් තරග විසඳුමකින් තොරව නිමා විය. අවසන් වරට 2023දී දසිස් මංචනායකගේ නායකත්වයෙන් යුත් රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළ අතර, සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2018 වසරේදී සිතාර හපුහින්නගේ නායකත්වය යටතේය.
මෙවර රාජකීය ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක රමිරු පෙරේරා නායකත්වය ලබාදෙන අතර, සාන්ත තෝමස් පිලට වර්ණලාභී කවිඳු ඩයස් නායකත්වය දෙයි.
රාජකීය පිලේ නායක රමිරු පෙරේරා මෙවර තරග 10කදී ඉනිම් 16කට ක්‍රීඩා කොට ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 636ක් ලබාගත් අතර, කඩුලු 28ක් ලබා පන්දුවෙන් දස්කම් දැක්වීය. විමත් දින්සර තරග 10කදී ඉනිම 16ක් තුළ ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 729ක් ලබාගත් අතර, උප නායක රෙහාන් පීරිස් තරග 11කදී ඉනිම 17ක් තුළ ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 683ක් ලබා ඇත. පන්දු යැවීමේදී සන්ඳුල් අබේවර්ධන කඩුලු 23ක්, රනුක මලවිආරච්චි කඩුලු 17ක් ද, යෙනුල බණ්ඩාර සහ රයන් සුගතදාස කඩුලු 14ක් බැගින් සහ ළාබාල ක්‍රීඩක සෙහඳු සූරියාරච්චි තරග 3කදී කඩුලු 13ක් ලබා රාජකීය පිල වෙනුවෙන් දක්ෂතා දැක්වූහ.
රාජකීය පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගාමිණි පෙරේරා, සහාය පුහුණුකරු චරිත් ප්‍රනාන්දු, ක්‍රිකට් භාර අචාර්ය අනුර ප්‍රශාන්ත හාදත්ත සටහන්කරු ලෙස හේමන්ත ආරියවික්රම යන මහත්වරු කටයුතු කරති.
සාන්ත තෝමස් පිලේ නායක කවිඳු ඩයස් තරග 13ක දී අර්ධ ශතකයක් සමඟ ලකුණු 220ක් ලබාගත් අතර පන්දු යැවීමෙන් කඩුලු 27ක් දවා ඇත. දිනෙත් ගුණවර්ධන තරග 13කදී ඉනිම 18කට මුහුණදී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 757ක් ලබාගත් අතර, අවිනාශ් ප්‍රනාන්දු තරග 13කදී ඉනිම 18කට මුහුණ දෙමින් ශතක 2ක් හා අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 461ක් ලබා ඇත.
වමතින් පා දඟ පන්දු යවන ආරොන් ද සිල්වා තරග 13කදී කඩුලු 49ක් ලබා ගැනීමට සමත්වූ අතර, අභීත් පරණවිදාන කඩුලු 39ක් හා දිනෙත් ගුණවර්ධන කඩුලු 21ක් ලබා මෙවර තරගවාරයේ දස්කම් දක්වා ඇත.
සාන්ත තෝමස් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු නිලංක පීරිස්, සහාය පුහුණුකරු තරංග ලියනපතිරණ, ක්‍රිකට්භාර ආචාර්ය කපිල ද සිල්වා හා දත්ත සටහන්කරු ලෙස තුෂාර කුරේ යන මහත්වරු කටයුතු කරති.
දෙවිදුහල් අතර 48 වැනි එක්දින ක්‍රිකට් තරගය මාර්තු 15දා කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වීමට නියමිතය.
රාජකීය ක්‍රිකට් කණ්ඩායම: රමිරු පෙරේරා (නායක), රෙහාන් පීරිස් (උප නායක), රනුක මලවිආරච්චි, ඉසුල ගීගනගේ (කඩුලු රකින්නා), යසිදු දිසානායක, අනුෂ් පොලොනෝවිට, තෙවිඳු වේවැල්වල, හිරුන් ලියනාරච්චි, රයන් සුගතදාස, විමත් දින්සර, කුචිල රන්මණ්ඩල, සෙහඳු සූරියආරච්චි, සන්ඳුල් අබේවර්ධන, ෂේන් අබේරත්න, කාලිඩ් රහිම්ඩීන්, යෙනුල බණ්ඩාර, චනිතු කංකානම්ගේ, ශේන් විජේරත්න, තරුල් අම්පෙමොහොට්ටි, දුශේන් උඩුවෙල.
සාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායම: කවිඳු ඩයස් (නායක), සදෙව් සොයිසා, දිනෙත් ගුණවර්ධන, අවිනාශ් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), මිතිල චාල්ස්, ජඩේන් අමරවීර, රෙශොන් සොලමන්ස්, ඩේරියන් ඩිගෝ, සචිත්ර ගුණසිංහ, අයිමෑන් අන්සාරි, ආරොන් ද සිල්වා, අභීත් පරණවිදාන, යොවෙල් වර්ණකුලසූරිය, අන්ශේන් ද සිල්වා, ශනිල් පෙරේරා, මිනෝන් වර්ණසූරිය, අරිත් අදිකාරම්, චනුත් ඇහැලියගොඩ, නෙතුන් විතානගේ, මහිත් රාජපක්ෂ.
ප්‍රින්ස් ගුණසේකර