11
දකුණු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ උමඟක් කඩා වැටීමෙන් සිර වූ ඉදිකිරීම් සේවකයන් 8 දෙනකු පිළිබඳ තොරතුරු සොයා ගැනීමට සහ මළ සිරුරු සෙවීමට විශේෂයෙන් පුහුණු කරනු ලැබූ පොලිස් සුනඛයන් යොදා ගෙන ඇතැයි ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. උමඟ කඩා වැටී දින 13ක් ගත වී ඇති බැවින් සුන්බුන් අතර සිරවූ සේවකයන්ගේ ඉරණම මේ වන විටත් විසඳී ඇති බවට ආපදා කළමනාකරණ ඒකකයේ විශ්වාසය වී තිබේ. කේරළ ප්‍රාන්ත පොලීසියට අයත් එම සුනඛයන් තෙලංගනා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ අධිකාරියේ ඉල්ලීම මත ඊයේ එම ප්‍රදේශයට රැගෙන ගිය බව කේරළ ප්‍රාන්ත රජය නිවේදනය කර තිබේ.
අතුරුදන් වූ සේවකයන් අතර ඉංජිනේරුවරුන් ද සිටින බව වාර්තා වේ. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ඉන්දීය යුද සහ නාවික හමුදාව ද එක්වී සිටින අතර, කුඩා ආයුධ සහ ආම්පන්නවලින් නීතිවිරෝධී පතල් කැණීම් කටයුතුවල නිරතවන (rat miners) පුද්ගලයන්ගේ සේවය ලබාගැනීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ. තෙලංගනා ප්‍රාන්තයේ නගර්කුර්නූල් දිස්ත්‍රික්කයේ ඉදි කරමින් පවතින කිලෝමීටර් 43ක දුරින් යුතු එම උමඟ පසුගිය මස 22 වැනිදා අලුයම් කාලයේදී කඩා වැටී ඇති අතර, ඒ වන විට සේවකයන් 50කට ආසන්න පිරිසක් එතුළ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි බව වාර්තා වේ. ඉන් සේවකයන් 43 දෙනකු මුදා ගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් සමත් වුවද, මඩ සහිත උමඟ තුළ සුන්බුන් අතර සිරවූ සෙසු සේවකයන් 8 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වී තිබිණි.