21
කොළඹ රාජකීය – ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර 146 වැනි ‘නිල් මහා සටනේ’ ජය වසර 6කට පසු සාන්ත තෝමස් විදුහල සතු කර ගනියි. මේ විශිෂ්ට ජයග්‍රහණය සැමරීම උදෙසා අද දින ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් මේ තරගය කොළඹ එස්එස්සී පිටියේදී පෙරේදා නිමාව දුටුවේය. 1879 වසරේ ඇරඹි මේ මහා තරගය ලෝක ඉතිහාසයේ පැරණිතම දෙවැනි ක්‍රිකට් තරගය වූ අතර, දැනට දෙපිලම ජයග්‍රහණ 36 බැඟින් වාර්තා කර සම තත්ත්වයේ පසුවේ.
කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් පිල මුලින් පන්දුවට පහරදීමට රාජකීය විද්‍යාලයට ආරාධනා කළ අතර, පළමු ඉනිමට ලකුණු 319ක් ලබා ගැනීමට සමත් විය. සාන්ත තෝමසුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 302ක් ලබාගත් අතර, රාජකීය විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා සාන්ත තෝමස් පිලට ලකුණු 232ක ඉලක්කයක් ලබා දුන්නේය. මෙය ඕවරයකට ලකුණු 5.54ක ඉලක්කයක් වූ අතර, එවැනි තීරණයක් ගෙන ක්‍රීඩාවට ජීව ගුණයක් එක් කිරීම පිළිබඳ රාජකීය ක්‍රිකට් කළමනාකාරීත්වයට ප්‍රශංසා හිමි විය.
ධනාත්මක ආකල්පයකින් යුතුව පිටියට පිවිසි තෝමසුවෝ මිනිත්තු 183ක කාලයක් තුළදී ඕවර 41කට කඩුලු 5ක් දැවී ලකුණු 233ක් ලබා මේ ඓතිහාසික ජය වාර්තා කළහ. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 119ක් හා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 50ක් සමඟ රාජකීය කඩුලු 3ක් බිඳහෙළූ දිනෙත් ගුණවර්ධන තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, කඩුලු ත්‍රිත්වයක් සමඟ තරගය පුරා කඩුලු 7ක් දවාගත් සාන්ත තෝමස් විදුහලේ ඩේරියන් ඩිගෝ හොඳම පන්දු යවන්නා ලෙසත්, පළමු ඉනිමේදී ලකුණු 158ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 53ක් ලබාගත් රාජකීය විදුහලේ රෙහාන් පීරිස් හොඳම පිතිකරු ලෙසත්, උඩ පන්දු 5ක් රැකගත් රාජකීය පිලේ විමත් දින්සර හොඳම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත්හ.
ඩේරියන් ඩිගෝ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තෙවැනි සාන්ත තෝමස් ක්‍රීඩකයා වූ අතර, එවැනි දස්කමක් දැක්වූ මහා තරගයේ සිවුවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා විය. රාජකීය උප නායක රෙහාන් පීරිස් ඉනිමකදී ලකුණු 150ක් රැස්කළ පස්වැනි රාජකීය ක්‍රීඩකයා බවට පත්වූ අතර, නායක රමිරු පෙරේරා 2018 වසරෙන් පසු කඩුලු 5ක් දවාගත් පළමු රාජකීය ක්‍රීඩකයා ද විය.
සාන්ත තෝමස් අංක 4 පිතිකරු සදෙව් සොයිසා පන්දු 32කදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 52ක් ලබාගත් අතර, ඔහු ලකුණු 10ක් ලබා සිටියදී ලබාදුන් උඩ පන්දුව රාජකීයන් අතින් ගිලිහී ගියේය. තෝමසුවන්ගේ පිතිකරණ අංශයේ ප්‍රබලයකු වූ දිනෙත් ගුණවර්ධන පන්දු 47කදී නොදැවි ලකුණු 50ක් වාර්තා කළ අතර, රෙශොන් සොලමන්ස් පන්දු 47කදී නොදැවී ලකුණු 50ක් එක් කළේය.
දෙවිදුහල් අතර 48 වැනි එක්දින ක්‍රිකට් තරගය මේ 15 දා කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වීමට නියමිතය.
රාජකීය පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 319 (ඕවර 78) රෙහාන් පීරිස් 158, විමත් දින්සර 25, රමිරු පෙරේරා 15, තෙවිඳු වේවැල්වල 48, යසිදු දිසානායක නොදැවී 25 (කවිඳු ඩයස් 71/2, ඩේරියන් ඩිගෝ 43/2) සහ දෙවැනි ඉනිම කඩුලු 8කට ලකුණු 215 (ඕවර 51) රෙහාන් පීරිස් 53, හිරුන් ලියනාරච්චි 37, විමත් දින්සර 35, රමිරු පෙරේරා 50, යසිදු දිසානායක නොදැවී 17, අතිරේක 9 (දිනෙත් ගුණවර්ධන 51/2, ඩේරියන් ඩිගෝ 40/5)
සාන්ත තෝමස් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 302 (ඕවර 103) අවිනාශ් ප්‍රනාන්දු 50, ජඩේන් අමරවීර 31, සදෙව් සොයිසා 27, දිනෙත් ගුණවර්ධන 119, රෙශොන් සොලමන්ස් 17, අතිරේක 14 (රනුක මලවිආරච්චි 72/3, රමිරු පෙරේරා 58/5) සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 233 (ඕවර 41) ජඩේන් අමරවීර 48, මිතිල චාල්ස් 26, සදෙව් සොයිසා 52, දිනෙත් ගුණවර්ධන නොදැවී 50, රෙශොන් සොලමන්ස් නොදැවී 50, අතිරේක 2 (රනුක මලවිආරච්චි 62/2, රමිරු පෙරේරා 79/3).
ප්‍රින්ස් ගුණසේකර