10
ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ලක්ෂ තුනකට අධික ජනතාව අඳුරට ඇද දමා ඇතැයි ද, නිවාස, මහාමාර්ග සහ රථවාහන විශාල සංඛ්‍යාවක් විනාශයට පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවැනි සුළි කුණාටුවක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට කඩා වැදී ඇත්තේ වසර 51කට පසුව බව ද වාර්තා වේ.
නැඟෙනහිර වෙරළ තීරයෙන් තීරයෙන් කඩා වැදුණු සුළි කුණාටුවෙන් බ්‍රිස්බේන් නුවරට සහ ගෝල්ඩ් කෝස්ට් නුවරට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ගුවන්ගමන් වාර අත්හිටුවීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊයේ වනවිට සුළි කුණාටු තත්ත්වය තරමක් තුරන් වූවත්, අධික සුළං තත්ත්වයත් සමඟ ඊයේ උදෑසන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නගර රැසකට අඛණ්ඩව පැය 6ක් ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද වාර්තා වේ. පවතින තත්ත්වය මත එම ප්‍රාන්තයේ රජයේ පාසල් 426ක් අද දිනයේ වසා දැමීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව කඩාවැදුණු පෙරේදා දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, විපතට පත්වූවන්ට සහන සැලසීමට යොදවා සිටි හමුදා සෙබළුන් පිරිසක් මාර්ග අනතුරකට ලක්වීමෙන් 13 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.