14
මෙරට කාන්තාවට නිසි තැන දුන් එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසිය.
ඒ මහතා මෙසේ පැවසුවේ එක්සත් ලක් වනිතා පෙරමුණ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එක්සත් රටක් – සංවර්ධිත හෙටක් වෙනුවෙන් කාන්තා බලය අර්ථ ගන්වමු මැයෙන් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුමට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැවසීය.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාලයට අනුව වෙනස් වුණු දේශපාලන පක්ෂයක්. 1946 සැප්තැම්බර් 6 වැනිදා ආරම්භ කරන එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් මහලේකම්වරිය හැටියට පත් කළ පක්ෂය වශයෙන් ඉතිහාසගත වෙනවා.
වෙනත් පක්ෂවල කිසිම දවසක මහලේකම්වරියක් ඉඳලා නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තමයි කාන්තාවන්ට තැන දුන් එකම දේශපාලන පක්ෂය. අපි ගිය අවුරුද්දේ මාර්තු 8 වැනිදා VIII වැනි විධායක ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී කාන්තා දිනය සැමරුවා. 6 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා ප්රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි කොටස් ගණනාවක් සම්බන්ධ වෙනවා එතුමා පහුගිය අවුරුදු දෙකහමාර තුළ ගෙනා අණපනත්වලට.
එතුමා ජාතියට වැදගත් පනත් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළා. එකක් තමයි ආර්ථික පරිවර්තන පනත. දෙක දූෂණ විරෝධි පනත. තුන ණය නැවත ගෙවන්නේ කොහොමද කියන ජාතික ප්‍රතිපත්ති පනත.
මේ වගෙ පනත් ගේනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සියල්ලක් කියපු කාරණයක් තමයි කාන්තාවන්ගේ මැදිහත්වීමෙන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඉදිරියට ගෙනයනවිට මුදල්වල ආරක්ෂිතභාවය හොඳයි කියලා. ඒ අනුව ඒ පනත්වල බොහෝ තැන්වලදී කාන්තාවන්ට මූලිකත්වය ලබාදීම සඳහා විශේෂ වගන්ති ගණනාවක්ම ලියා තිබෙනවා.
ඒ අතරේ තිබෙනවා මහ බැංකු පනත. දැන් මේ පනත්වලින් පිට මේ රට ගෙනියන්න බැහැ. අපේ අය හිතුවා එක අසුනට වැටුණු එක්සත් ජාතික පක්ෂය ඉවරයි කියලා. බලන්නකෝ එක ආසනයක තිබෙන බලවත්කම. ඒක තමයි ඔබ අධ්‍යයනය කරන්න ඕන. ආසන 160න් ගත්තත් ඒක ජනාධිපතිකම. එක ආසනයෙන් ගත්තත් ඒක ජනාධිපතිකම. මොකද්ද තිබෙන වෙනස? මොනව හරි වගන්තිවල අඩුපාඩුවක් තිබෙනවද?
රට බංකොලොත් වුණු වෙලාවේ, රට මුළුමනින්ම කඩාගෙන වැටුණු වෙලාවේ, කාන්තාව අසරණ වුණු වෙලාවේ එක අසුනක් රටට නායකත්ව ලබා දුන්නා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඊයේ පෙරේදා මගෙන් එක්කෙනෙක් අහනවා, එක ආසනයක් තියනකොට කොහොමහරි ජනාධිපති කෙනෙක් හැදුවනේ. ඒත් දැන් එකක්වත් නෑනේ. එතකොට කොහොමද ජනාධිපති කෙනෙක් හදන්නේ කියලා. මම ඔහුට කිවුවා එක ආසනයක්වත් නැතිව ජනාධිපති වෙන්න පුළුවන් කියලා.
අපිට එක ආසනයක්වත් නැති වුණාට මේ පක්ෂයට තිබෙනවා ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළ යන ගමන් මඟක්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.
කාන්තාවක්ට අවශ්‍ය කරන නීති පද්ධතිය හැදුවේ එක්සත් ජාතික පක්ෂයයි. එය ඉදිරියට අරගෙන ගියේ VIII වැනි විධායක ජනාධිපතිතුමයි කියලා මම ඔබට ප්‍රකාශ කරනවා. එතුමාට අවුරුදු 2යි තිබුණේ.
එතුමා භාරගත්ත අභියෝගය වෙනස්. එතුමාට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ එක අසුනයි තිබුණේ. ඒ අසුන කොයි තරම් බලවත් වුණාද රටක පාලන බලය ලබාගන්න තරම්. හෙට වැටෙන රට ගොඩගන්න පුළුවන් වෙන නායකයෙක් අපිට පේන තෙක් මානෙක නෑ. හෙට වැටෙන රට ගොඩගන්න පුළුවන් එකම නායකයා 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.
වැටෙන එක නියතයි. අපිට පේනවා එතුමා අවුරුදු දෙකහමාරක් ඇතුළත පාර්ලිමේන්තුවට කාන්තා පනත් ඇතුළු පනත් 92ක් ගේනවා.
කිසිම ආණ්ඩුවක් පාර්ලිමේන්තුවට පනත් 92ක් ගෙනත් නැහැ. එයින් පනත් 15ක් පමණ ජන ජීවිතයට ඉතා වැදගත්. ඒ හැම පනතක්ම අපි මේ කතා කරන අවස්ථාවේදීත් උල්ලංඝනය වෙමින් තිබෙනවා. එහෙනම් රට කඩාවැටීම නියතයි. ඒක වෙනස් කරන්න බැහැ.
ලංකාව නමැති බසය ඉදිරියට පදවගෙන ගිය රියැදුරා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
රියැදුරාව මඟදී බස්සලා වෙන කෙනෙක් බස් එකට නැග්ගට බස් එකේ තිබෙන ප්‍රශ්න ටික ඔහුට නිසියාකාරව අඳුනගන්න බැහැ. ඒ නිසා තමයි 8 වැනි විධායක ජනාධිපති ගැන මම බය නැතිව කියන්නේ. ඔබ සමහර අයට එහෙම නොපෙනෙන්න පුළුවන්. නමුත් මට එහෙම පේනවා. ඇයි කියනවනම් ඒ අණපනත් පිළිබඳ තිබුණු අවබෝධය නිසා.
එක්සත් ජාතික පක්ෂය කාන්තාවන්ට හැමදාමත් තැන දීපු දේශපාලන පක්ෂයක්. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විශාල විශ්වාසයක් තබාගෙන ඉන්නවා කාන්තාවන් ඒ සඳහා සුවිශේෂ දායකත්වයක ලබාදෙයි කියලා. ඒ නිසා එතුමා කාන්තාවන් වශයෙන් ඔබටත් ජාතියටත් කර තිබෙන සේවාව ඔබ දිගින් දිගටම කතා කළ යුතුයි.
– එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය,
“එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවන් කළ සේවය සමාජගත වී නැහැ. ලෝකයේ පළමු අගමැතිනිය අපේ රටෙන් බිහි වුණත් කාන්තාවන්ට වැඩියෙන්ම තැනක් හිමි කරදුන්නේ 1977න් පසු හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතායි. කුස්සියේ සිටි කාන්තාව රටේ තීන්දු තීරණ ගන්න තැනට පත්කළේ එජාපයයි.
එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි අචිනි ලොකුබණ්ඩාර මහත්මිය,
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ඇතුළු කාන්තාවන් වෙනුවෙන් පනත් කිහිපයක්ම ගෙන ආවා. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කළා.”
මේ සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී අචිනි ලොකුබණ්ඩා මහත්ම මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.