9
‘හැංගිමුත්තො හැංගියෝ…
නොපෙනෙන තැනක හැංගියෝ…’
‘අත්තාපල් මුත්තාපල් මා අල්ලන්නට බැරියෝ
අත්තාපල් මුත්තාපල් රෑ වන තුරු අල්ලාපන්
අත්තාපල් මුත්තාපල් රෑනගලේ ගල කෙටුවත්
මා අල්ලන්නට බැරියෝ…’
ඉහත දැක්වෙන ජන කවිය කුඩා දරුවන්ගේ ‘ඔට්ටු සෙල්ලම’ නමැති ළමා ජන ක්‍රීඩාවට අදාළ එකකි. කුඩා කල අප විසින් කරන ලද තවත් ක්‍රීඩාවක අන්තර්ගත වූයේ එකකු පසුපස දුවගොස් ඔහු අල්ලා ගැනීම ය. ‘හැංගිමුත්තන්’ සෙල්ලමේදී සිදුවූයේ එක් අයකු විසින් සැඟවුණු අනෙක් අය සොයා ගැනීමයි. එහිදී සැඟවුණු අය තමන් සැඟවී ‘ඔට්ටුයි’ කියා කීමෙන් පසු, සැඟවුණු අය සොයා යෑම ඇරඹේ.
‘හොරා පොලිස්’ සෙල්ලමේදී සිදු වූයේ තුණ්ඩුවල ‘හොරා’, ‘පොලිස්’, ‘පියන්’ යන නාමකරණයන් ලියා ‘පොලීසිය’ යන තුණ්ඩුව ලැබූ කෙනා විසින් හොරා සොයා ගැනීමයි. එහිදී පොලීසිය ඉදිරිපිටම සොරා සිටි නමුත් උපකල්පිත අදහසක් මඟින් සොරා අල්ලා ගැනීම සිදු වේ.
ඉහත ළමා ජන ක්‍රීඩා සියල්ල යළි සිහිපත් කිරීමට සිදුවූයේ වර්තමානයේ පොලීසිය සමඟ ‘හැංගිමුත්තං’ සෙල්ලම් කරන සිදුවීම් කිහිපයක් පිළිබඳ ප්‍රවෘත්ති කියවා ගැනීමෙන් අනතුරුව ය; එනම්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින කිහිප දෙනකු පොලීසිය මඟහැර ‘හැංගිමුත්තං’ සෙල්ලම් කිරීම පිළිබඳ අසන්නට ලැබීම හේතුවෙනි.
වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැලිගම වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයනු ලැබේ. ඔහු තවමත් අතුරුදන් ය. ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ද තවමත් ආගිය අතක් නැත. කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩම් හොර ඔප්පු හදා විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ද අත්අඩංගුවට ගැනීමට සොයන නමුදු ඔහු ද සොයා ගැනීමට නැත.
මේ අතරින් ඉෂාරා සෙව්වන්දි හැරුණුකොට දේශබන්දු තෙන්නකෝන් සහ ප්‍රසන්න රණවීර යනු මෙරට සුවිශේෂ චරිත දෙකකි.
දේශබන්දු තෙන්නකෝන් යනු මෙරට පොලීසියේ පොලිස්පතිවරයෙකි; එනම්: නීතිය හා සාමය ක්‍රියාත්මක කරවීම පිළිබඳ ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි. එසේනම් ඔහුට රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරවීම පිළිබඳ මනා පළපුරුද්දක් හා අවබෝධයක් තිබිය යුතුය. ඔහු පොලිස්පති ධුරයට පත්වීමෙන් අනතුරුව රට පුරා ක්‍රියාත්මක කරන ලද ‘යුක්තිය’ මෙහෙයුම මඟහැර සිටින අපරාධකරුවන්ට ඔහු දුන් නියෝගයේ සහ ප්‍රකාශයේ සඳහන් වූයේ කවර තරාතිරමක අයකුට වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැති බවයි. එසේ නම් කලකට පෙර පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටියදී දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද ප්‍රකාශය දැන් සැඟවී සිටින දේශබන්දුට ද එලෙසම අදාළ ය.
ප්‍රසන්න රණවීර යනු මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි. ව්‍යවස්ථාදායකය යනු නීති සම්පාදනය කරන ආයතනයයි. එසේනම් ඒ ආයතනය නියෝජනය කළ අයකුට රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. එහෙයින් තමාට එරෙහිව චෝදනාවක් ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම හරිහමන් අධ්‍යාපනයක් ලැබූ දේශපාලනඥයකු සතු සමාජ වගකීමකි. එසේ නොවන්නේ නම් ඔහු ‘මැටි’ ඇමැතියකුම විනා අන් කවරෙක් ද?
මේ පිළිබඳ අදහස් දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගැනීමට සිටින යම් කිසිවකු නීතිය මඟහරිමින් සැඟවී සිටින්නේ නම්, ඔහුගේ නිශ්චල හා චංචල දේපළ රාජ සන්තක කිරීමට නීති ප්‍රතිපාදන තිබෙන බවයි.
මීට පෙර රිෂාඩ් බදියුදීන් නමැති හිටපු ඇමැතිවරයා ද මේ ආකාරයට සැඟවී සිටි ආකාරය අපට මතක ය. එපමණක් නොව, පාතාල නායකයන් ද, තවත් විවිධ සමාජ, දේශපාලනික බලය ඇති දේශපාලකයන් සහ ඔවුන්ට සම්බන්ධ අය ද මේ ආකාරයට පොලීසිය සමඟ කට්ටි පනිමින් සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි. මීට අමතරව, ශ්‍රී ලංකාවේ වරෙන්තුකරුවෝ සහ රතු වරෙන්තුකරුවෝ ගණනාවක් ද තවමත් පොලිස් අත්අඩංගුවට පත්නොවී, මෙරට හෝ විදේශයන්හි සැඟවී සිටිති. අර්ජුන් මහේන්ද්‍රන් යනු ද එවැන්නෙකි.
කෙසේ නමුත් ඉහත සිදුවීම්වලින් නිරූපණය වන්නේ ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ නොහැකියාව යැයි එක්වර අර්ථකථනය කිරීමට තරම් අපි කලබල නොවෙමු. ශ්‍රී ලංකාවේ පොලීසිය ස්වකීය උපරිම ශක්තිය සහ ධාරිතාව යොදවා, දරුණු ගණයේ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බව අපි ඉතා හොඳින් දනිමු.
ශ්‍රී ලංකාවේ පොලීසිය නැතිනම් පොලිස් බළකාය භෞමික කොට්ඨාස 43කින්, ක්‍රියාකාරී කොට්ඨාස 67කින් හා පොලිස් ස්ථාන 432කින් සමන්විත දෙපාර්තමේන්තුවකි. ආසන්න වශයෙන් ගතහොත් 85,000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් එහි අන්තර්ගත ය.
එසේනම් කවර හෝ තත්ත්වයක් යටතේ පොලීසිය සමඟ කට්ටි පැනීම කළ හැකි දෙයක් නොවේ. ඒ අතර, මීට පෙර එලෙස කට්ටි පැන්න දූෂිතයන්ට සහ වරෙන්තුකරුවන්ට දේශපාලනික ආශීර්වාදය තිබුණ ද වර්තමානයේ එවැන්නක් නොවන හෙයින් මොවුන් අත්අඩංගුවට ගැනීමට වෙනත් කිසිදු බාධාවක් ද නැත.
එබැවින් වර්තමානයේ අවශ්‍ය වී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය කරවීමයි. කවර තරාතිරමක අයකුට වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හා සමාජ පෞරුෂය, පොලීසියට නිර්මාණය කර දීම එහිදී අත්‍යවශ්‍ය ය. මේ අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී සුවිශේෂ වරප්රසාදලාභීන් කිසිවකු සිටිය නොහැකි ය.
නීතිය යනු නීතියම ය. එය දේශබන්දුට හෝ ප්‍රසන්න රණවීරට හෝ අර්ජුන් මහේන්ද්‍රන්ට හෝ පමණක් නොව, ඉෂාරා සෙව්වන්දිට ද එක හා සමාන ය. රටේ ඉහළම ශ්‍රේණියේ පුරවැසියාගේ සිට පහළම සමාජ ස්තරයේ දුප්පත්, පීඩිත ගැමියාට ද නීතිය එක හා සමාන විය යුතුය.
එවන් වූ සාධාරණ නීති ක්‍රමයක්, පරිපාලන ව්‍යුහයක්, බල ධුරාවලියක් ස්ථාපිත වීම අත්‍යවශ්‍ය ය. මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇති කරගතහැකි වටපිටාවක් පිළිබඳ අපේක්‍ෂා තබාගත හැකි ය.
එවැනි තත්ත්වයකදී කිසිවකුට හෝ නීතිය සමඟ සෙල්ලම් කිරීමට, කට්ටි පැනීමට, ඔට්ටු සෙල්ලම් කිරීමට, හැංගිමුත්තං සෙල්ලම් කිරීමට ඉඩ ප්‍රස්තා නොලැබෙනු ඇත.