16
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුවක් මත පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේ අත්අඩංගුවට ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඊයේ උදෑසන මැනිලා නුවර ගුවන්තොටුපොළේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හොංකොං නුවර සිට ආපසු පැමිණෙමින් සිටියදි බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත්තේ ඔහුගේ පාලන සමයේදී ක්‍රියාත්මක කළ බව කියන මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් මානුෂීය අපරාධ සිදුවූ බවට එල්ල වූ චෝදනා මත බව ද වාර්තා වේ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඉන්ටපෝල් පොලීසිය හරහා කරනු ලැබූ ඉල්ලීමක් මත හිටපු ජනාධිපති ඩුටාර්ටේ ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවත්, ඔහු මේ වන විට රඳවා තබා සිටින බවත් පිලිපීන රජය නිවේදනය කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
වසර 2016 සිට 2022 දක්වා පිලිපීනයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඩුටාර්ටේ එම කාලය තුළ ක්‍රියාත්මක කළ මතභේදාත්මක මත්ද්‍රව්‍ය විරෝධි මෙහෙයුම අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ලෝලීන් දහස් ගණනක් වෙඩි තබා ඝාතනය කිරීමට නියෝග කළ බව වාර්තා වේ.