Home Sport News Room : සංගා-ලාරා අද අවසන් පූර්ව සටනේ

News Room : සංගා-ලාරා අද අවසන් පූර්ව සටනේ

0
0

ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (International Masters League) දෙවැනි අවසන් පූර්ව තරගයට අද කුමාර් සංගක්කාර මෙහෙයවන ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් තරග වදින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වේ. ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන මේ තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් 6ක් එක්වූ තරගාවලියේ තරග 5කින් 4ක් ජයගෙන +1.400 දළ ලකුණු වේගයක් සහිතව ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් මේ තරගයට එක්වූ අතර, කොදෙව් පිල තරග 5කින් 3ක් ජය ගනිමින් මේ තරගයට එක්විය.

මේ දෙපිල මින් පෙර මූලික වටයේදී හමුවූ අතර, එහිදී ලකුණු 21ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පමණක් පරාජය වූ අතර, කොදෙව් පිල ඉන්දියාව හමුවේත් පරාජය වී තිබිණි. මේ අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනගත් සචින් තෙන්ඩුල්කාර් නායකත්වය දෙන ඉන්දියන් මාස්ටර්ස් පිල සහ තෙවැනි තැන හිමිවූ ෂේන් වොට්සන් මෙහෙයවන ඔස්ට්‍රේලියා මාස්ටර්ස් අතර ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි. මේ තරග ද්විත්වයේ ජයග්‍රාහකයෝ මේ ඉරිදා (16) රාත්‍රී 7.30ට රායිපූර්හිදීම අවසන් මහා තරගයට එක්වෙයි.

මේ තරගාවලියට එක්වූ දකුණු අප්‍රිකා මාස්ටර්ස් පිල එක් ජයග්‍රහණයක් සමඟ 5 වැනි තැනින් තරගාවලිය නිමා කළ අතර, එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායමට කිසිදු ජයග්‍රහණයක් වාර්තා කළ නොහැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here