10
ඉතාලියේ නාපෝලි නුවර ඊයේ අලුයම රිච්ටර් මාපකයේ 4.4ක භූකම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පොසෝලි සහ බග්නොලි වෙරළ තීරය ආසන්නයේ සිදුවී ඇති එම භූකම්පනයෙන් පසු අතුරු කම්පන 6ක් පමණ සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. නාපෝලි නුවර භූකම්පනයක් සිදුවී ඇත්තේ වසර 40කට පසුව බව ද වාර්තා වේ. භූකම්පනය හේතුවෙන් ජීවිත හානි සිදුවූ බවට තොරතුරු වාර්තා නොවූවද, ගොඩනැඟිලි රැසක් බිඳ වැටී ඇතැයි ද මෝටර් රථ ගණනාවක් විනාශ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊයේ අලුයම 1.25ට පමණ සිදුවූ භූකම්පනයෙන් පසු බියට පත්වූ නගර වැසියන් නිවාසවලින් පිටතට පැමිණ වීදිවල සහ සිය මෝටර් රථ තුළ පහන්වනතුරු කාලය ගත කළ බව ද වාර්තා වේ. භූ කම්පනයත් සමඟ නගරයේ විදුලිය විසන්ධි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.