16
රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියා නම් අමෙරිකාවේ තීරු බදු ප්‍රශ්නය ගැන කලින්ම පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (21) පැවැති රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.
“එක්සත් ජාතික පක්ෂය නැවතත් ශක්තිමත්ව නැගිටිමින් සිටිනවා. පාක්ෂිකයන්ගේ විශාල උනන්දුවක් දක්නට ලැබෙනවා.
වර්තමාන ආණ්ඩුවේ අය බලය ගත්තේ බොරු කියමින් ගිහිල්ලා. දැන් ඒ වගේම බොරු කියලා බලය රැක ගන්නත් පුළුවන් කියලා හිතනවා. ටික කලකට ඒ බොරුව ගියා. නමුත් දැන් එය විසිරෙන්න පටන්ගෙන තිබෙනවා.
බටලන්ද කොමිසම ගැන කියන්න පටන් ගත්තා. ඒක දැන් ආයේ කැරකිලා ඒ සමයේ තිබූ දරුණු විප්ලවයෙන් ජනතා විමුක්ති පෙරමුණ රටේ ක්‍රියාකාරිත්වය නවත්තලා මිනිසුන් ඝාතනය කර ජනතාව විශාල පීඩනයකට ලක් කළ බව හෙළි වුණා.
ඉන්පසු පාස්කු දා ප්‍රහාරය ගැන කියන්න පටන් ගත්තා. මහ මොළකරු පාස්කු ඉරිදා වන විට හෙළි කරන බව කිව්වා. එදා කිව්වේ හංගලා තිබූ කොළ දෙකකුත් එක්ක ජනාධිපති කොමිසම් වාර්තාව සීඅයිඩීයට භාර දුන්නා කියලයි. හංගලා මුකුත් තිබුණේ නෑ. සියලුම වාර්තා පාර්ලිමේන්තුවට භාර දීලයි තිබුණේ. බිෂොප්වරුන්ගේ සම්මේලනයට දීලා තිබුණා. සීඅයිඩීය විමර්ශන කළා. ඒ සඳහා ස්කොට්ලන්ඩ් පොලීසිය වැනි විදේශ විමර්ශන ආයතනවල සහයෝගය ගත්තා. මේ පුංචි ඡන්දයට බොරු කියමින් රට වටා යනවාට වඩා මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න කටයුතු කළා නම් හොඳයි.
රටේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා. අමෙරිකාවේ තීරු බදු ප්‍රශ්නය තිබෙනවා. බදු ප්‍රශ්නයක් එන බව රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු 20 වැනිදා හයිඩ්පාක් වැඩසටහනේදී ප්‍රකාශ කළා. මේ ප්‍රශ්නය ආවේ සුනාමියක් වගේ එකපාරටම නෙවෙයි. රජයට තිබුණා, ඒ පිළිබඳව කටයුතු කරන්න. රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියා නම් ඒ පිළිබඳව කලින්ම ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ කිසිවකට පියවර ගත්තේ නෑ.
මේ බදු පැනවුණාම අපේ රටේ අපනයන කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණපානවා. 2025 අය-වැය පරතරය බිලියන තුනයි. මේ ප්‍රශ්නයත් සමඟම තවත් බිලියන තුනක හිඟයක් ඇතිවෙනවා. මේ මුදල් හොයන්නේ කොහෙන්ද? අද රටේ ආර්ථිකය අවදානමක තිබෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන ගියේ, ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය විනිවිදභාවය, සැමටම සාධාරණව කටයුතු කළ හැකි පරිසරය, අලුත් නීති ගෙන ඒම වැනි දේ අප කරමින් ආවා. ආයෝජකයන් ගේන්න කටයුතු කළා. ඒ අය ආවම අපේ රටේ ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි නොවුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් වැඩක් නැති වෙනවා.
ආයෝජකයන් වැඩි කර ගන්න දැන් කිසිම වැඩසටහනක් නෑ. එවිට ආයෝජකයන්ගේ විශ්වාසය නැති වෙනවා. එවිට මිනිසුන්ගේ ජීවන වියදම වැඩි වෙනවා. ඉස්සරහට තවත් අමාරු වෙනවා.”
ශිරෝමි අබයසිංහ