25
“මාලිමාවට වෙඩි තියන්න කලින් හොඳට කල්පනා කරන්න ඕනේ. මාලිමාව කියලා කියන්නේ අපට ඡන්දය නොදුන් අපව අවිශ්වාස කළ සහ අපට ගල් මුල් ගසන බොහෝදෙනකුට ලේසියෙන් ඉලක්ක කරන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි කියන එක මේ වෙලාවේ කියන්න ඕනෙ. ඒ කණ්ඩායම තේරුවේ ඔබ. ඒ නිසා ලේසියෙන් පස්සට නොයන කණ්ඩායමක් ඔබෙන් නැවත බලය ඉල්ලනවා ගම හදන්න.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිගේ මහත්මිය පැවැසුවාය.
මන්ත්‍රීවරිය එසේ පැවැසුවේ බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේ ‘ජය නියතයි – ගම අපිටයි’ මැයෙන් පැවැති ජනහමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේද පැවැසුවාය.
“මේ රට හදමු කියන පරම පැතුමෙන් ඔබ ළඟට එන කණ්ඩායමට බලය දුන්නාට පවු පිරෙන්නේ නෑ. මේ රට හදන්න පුළුවන් මාලිමාවේ කණ්ඩායමට පමණයි. හොරකමෙන්, දූෂණයෙන්, වංචාවෙන්, අවනීතියෙන් තොර ඒ කණ්ඩායමට බලය දෙන්න. බය නැතුව ඔබ සටන් කරන්න. ඔබ තමයි, මේ ශාලාවෙන් අත්පුඩි ගහලා එළියට යනකොට ඒ පණිවිඩය අරගෙන යන්න ඕනෙ. මම දන්නවා, ඒ කාර්යය ඔබ එදත් කළා. අදත් කරනවා. හෙටත් කිරීමට කොන්දේසි විරහිතව සූදානම් කියලා. විපක්ෂ නායකතුමා එක්තරා අවස්ථාවකදී කියනවා, මැයි හයවෙනිදායින් පස්සේ පාඩම් උගන්වනවා කියලා. මේ මැතිවරණයට ජනතාව ඡන්දය ප්‍රකාශ කරන ආකාරය අනුව මම හිතනවා, ඒ පාඩම ජනතාව හොඳින් ඉගෙනගෙන තියෙනවා කියලා. ඒ අය පහුගිය මැතිවරණ දෙකේදීම උගත් පාඩම්වලින් තමයි තමන්ගේ ඡන්ද අයිතිය ප්‍රකාශ කළේ.
මේ මාස හයට හතට අපි කළ දේ ගැන විශ්වාස තබා මේ ඡන්දයේදී ඒ උගත් පාඩම් අනුව තමන්ගේ ඡන්ද අයිතිය බුද්ධිමත්ව පාවිච්චි කරනවා කියලා අපට දැඩි විශ්වාසයක් තියෙනවා.”
මෙවර පළාත් පාලන මැතිවරණයේ බණ්ඩාරගම ආසනයේ කණ්ඩායම් නායක හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීත් ජයගේ මහතා විසින් මේ ජනහමුව සංවිධාන කරන ලදි.
බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ