Home Local News Room : ශ‍්‍රී ලංකාවට සාගතයක් එනවා.. මානුෂීය අධාර අවශ්‍යයි..- Fews Net...

News Room : ශ‍්‍රී ලංකාවට සාගතයක් එනවා.. මානුෂීය අධාර අවශ්‍යයි..- Fews Net ~

0
0
එළඹෙන වසරේ ජනවාරි දක්වා කාලය තුළ මෙරට ලක්ෂ 10ත් 15ත් අතර ජනතාවකට පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා ගැනීම සඳහා මානුෂීය ආධාර අත්‍යවශ්‍ය වනු ඇතැයි සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය (FEWS NET) පුරෝකථනය කරයි.

ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක මෙම සංවිධානය පෙන්වා දෙන්නේ එළඹෙන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙම ආහාර අනාරක්ෂිතතාව වඩාත් උග්‍ර විය හැකි බවයි.

ආර්ථික අර්බුදයෙන් පසු නාගරික රැකියා අවස්ථා යම් මට්ටමකට වර්ධනය වුවද, ඉහළ ගොස් ඇති ආහාර මිල, ප්‍රවාහන ගාස්තු, විදුලි සහ ජල ගාස්තු මෙන්ම ණය වාරික ගෙවීමට සාපේක්ෂව ජනතාවගේ වැටුප් වර්ධනය වී නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

මේ හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සිය කුසගින්න නිවා ගැනීම සඳහා ලබාගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීමට හෝ දෛනික ආහාර වේල් ගණන අඩු කිරීමට පෙළඹී ඇති බව එම වාර්තාව අනාවරණය කරයි.

විශේෂයෙන්ම තෙත් කලාපයේ අඩු ආදායම්ලාභී වතු කම්කරුවන්, බස්නාහිර, උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ධීවර ප්‍රජාව මෙන්ම නාගරික දිළිඳු ජනතාව මෙම අවදානමට වැඩි වශයෙන් ගොදුරු වී සිටිති.

ප්‍රවාහන වියදම් සහ කෘෂිකාර්මික යෙදවුම් මිල ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළ ආහාර මිල සැප්තැම්බර් මාසය දක්වා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ද එම සංවිධානය පවසයි.

හදිසි ආහාර සහනාධාර සැපයීමේ මහා පරිමාණ වැඩසටහනක් මෙරට තුළ ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරන බව පෙන්වා දෙන සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය, ඉදිරි කාලයේදී නාගරික සහ නාගරික ආසන්න දිස්ත්‍රික්කවල ජනතාව කෙරෙහි මෙහි බලපෑම දැඩිව එල්ල වනු ඇති බවට ද අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here