හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් උපයා ගැනීමේ නඩුවට අදාළව අතිශය සංවේදී තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ ලබන අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ වසර දෙකක කාලය තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින්, සිය නීත්‍යනුකූල ආදායමට වඩා වැඩි ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී තිබේ.
අධිකරණ වාර්තාවලට අනුව, මර්වින් සිල්වා මහතා පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පමණක් රුපියල් ලක්ෂ 1823කට අධික ස්ථාවර තැන්පතු 10ක් පවත්වාගෙන ගොස් ඇත. ඉන් එක් තැන්පතුවක වටිනාකම පමණක් රුපියල් කෝටි 6කි.
මීට අමතරව සිය බිරිඳ වන හිටපු මන්ත්‍රීනී මේරි ලුසීඩා සිල්වා, පුත් මාලක සිල්වා, දියණිය සහ බෑණනුවන්ගේ නමින් විවිධ මූල්‍ය ආයතනවල රුපියල් මිලියන ගණනින් තැන්පතු පවත්වාගෙන ගොස් ඇති බවද හෙළිවී තිබේ.
විත්තිකරු විසින් කොළඹ 07 කුරුඳුවත්ත ප්‍රදේශයෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක් ද, රාජගිරිය නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක් ද, කඩවත ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13ක ඉඩමක් ද මිලදී ගෙන ඇති බව නඩුවේදී අනාවරණය වී ඇත.
එමෙන්ම, 1994 වසරේ සිට කුණ්ඩසාලේ ප්‍රදේශයේ රජයේ ඉඩමක් රුපියල් 1,600ක වැනි ඉතා සුළු බදු මුදලකට ලබාගෙන ඇති බවද සඳහන් වේ.
අදාළ වසර දෙකක කාලය තුළ විත්තිකරු විසින් අසාමාන්‍ය ලෙස වාහන 7ක් මිලදී ගෙන තිබේ. ඒ අතර Porsche, Range Rover Sport, Mercedes Benz, Land Rover සහ Hyundai වැනි ඉහළ වටිනාකමකින් යුත් රථ වාහන පවතින බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මර්වින් සිල්වා මහතා සිය ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් හරහා වසර දෙකකදී රුපියල් ලක්ෂ 42කට අධික මුදලක් වැය කර ඇති අතර, මූලාශ්‍ර හෙළි නොකළ රුපියල් මිලියන 34.7ක ණයක්ද පියවා තිබේ.
තවද, රිතූ ආකර්ශා නැමැති නිළියක වෙනුවෙන් රුපියල් 240,000ක මුදලක් ලබාදීම සහ සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 13ක වාරික ගෙවමින් රක්ෂණ ඔප්පු 6ක් පවත්වාගෙන යාම පිළිබඳවද අධිචෝදනා පත්‍රයේ කරුණු ඇතුළත් වේ.
වසර දෙකක් වැනි කෙටි කාලයකදී රුපියල් මිලියන 485කට අධික ධනස්කන්ධයක් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව ඉදිරි නඩු වාරවලදී වැඩිදුර විමර්ශනය කිරීමට නියමිත බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.







