ඔහු මේ බව ප්‍රකාශ කලේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
‘අද මේ රටේ ඉතිහාසයේ පහළ වෙච්ච දූෂිතම, ඒකාධිපති පාලනය අරගෙන යන ආණ්ඩුවක් අපේ රටේ බිහි වෙලා තියෙන්නේ.
එදා ගොවි ජනතාවට අසීමිත බලාපොරොත්තුවක් දුන්නා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරන් බැලුවම ඉස්සෙල්ලාම තියෙන්නේ ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් දෙනවා කියලා හැබැයි ව්‍යාපාරිකයාට නම් සාධාරණ මිලක් හම්බවෙනවා ඇති. ගොවියාට සාධාරණ මිලක් අද හම්බවෙනවද නැද්ද කියන එක තමයි තියෙන ප්‍රශ්නය.
අද වෙනකොට ගොවියාගේ අස්වැන්න විකුණගන්න විදියක් නැහැ. ගොයම් කැපෙන කාලෙට පිටරටින් හාල් ගේනවා. ව්‍යාපාරිකයන්ට ඕන විදියට මිල තීන්දු කරනවා. අවසානයේ ගමේ අසරණ ගොවියාගේ ආර්ථිකය කඩන් වැටෙනවා. ආර්ථිකය කඩන් වැටෙනකොට ගොවියා පාරට එනවා. පොහොර ටික නැහැ, නිෂ්පාදන පිරිවැය වැඩියි, භූමිය සකස් කරගන්න විදියක් නැහැ. ඒ මහ පොළොවත් එක්ක පොරබදලා කාලගුණයත් එක්ක හැප්පිලා ලබන අස්වැන්න විකුණගන්න විදියක් නැතිකොට ගොවියා පාරට එනවා.
ඒ ගොවියා පාරට ආවට පස්සේ ආණ්ඩුව තමන්ගේ සුපුරුදු මර්දනයෙන් ගොවියා පාලනය කරන්න උත්සාහ කරනවා. තර්ජනය කරන්න උත්සාහ කරනවා. තර්ජනය කරලා, එක වෙලාවක මං දැක්කා මේ පැත්තේ ඇමතිවරයෙක් කියනවා ගොවියාට කසිප්පුකාරයෝ කියලා. අන්තිමට ගොවියා කසිප්පුකාරයෙක් බවට පත් කරා. නේද?
හැබැයි ඡන්දෙට කලින් කොහොමද? ගමට ඇවිල්ලා කෙහෙල් කැනක් කපාගෙන කැබ් එකේ දාගෙන දේශපාලනය කරේ. ගොවි මහත්තයාගේ බුලත් විට කාලා, මදි වෙච්ච ගමන් ගොයමුත් කාලා කිව්වා. කුඹුරට බැහැලා, මතකයිනේ? මඩත් කෑවා.
හැබැයි එහෙම බලය ගත්තු අය අද ගොවි ජනතාව අමතක කරලා. මේක තමයි යථාර්ථය. ආණ්ඩුව හිතනවා පිටරටින් හාල් ගේන එක, පිටරටින් එළවළු පලතුරු ගෙනැල්ලා කන්න දෙන එක ලාභයි මේ රටේ ගොවියා ශක්තිමත් කරනවට වඩා කියලා. මාළු පිටරටින් ගේන්නේ,
ධීවරයා එක පැත්තකින් අසරණ වෙලා, ගොවියා මේ පැත්තෙන් අසරණ වෙලා. කර්මාන්ත සියල්ල වැහෙනවා. ආයෝජකයෝ ඇවිල්ලා තරුණයා තරුණියගේ රැකියාවන් උත්පාදනය කරන්න විදියක් නැහැ. මේ අම්මා තාත්තාගේ දරුවා ඉගෙනගෙන ගෙදර, අඩු ගානේ පෞද්ගලික අංශයේ රැකියාවක් නැතුව.
තවත් පැත්තකින් මහා සංඝරත්නය ඉලක්ක කරගෙන දැවැන්ත මඩ ගහනවා. ශාසනයට අගෞරව කරනවා. ආගමික නායකයෝ විවේචනය කරනවා. ආගමක් දහමක් නැති, සංස්කෘතියක් නැති රටක් බවට අපේ රට පරිවර්තනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.
පහුගිය දිනේ ජනාධිපතිවරයා හම්බෙන්න නීතිඥ සංගමය ගියා. රැස්වීමේ මාධ්‍යයට එනකොට ජනාධිපති විතරයි කතා කරලා තියෙන්නේ. තමන්ගේ ප්‍රශ්නයක් ඇහුවම ඒක දාන්න බැරි?
ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට ඕන විදියට මේ පාලනය අරගෙන යන්න ඕනේ, ආණ්ඩුවට විරුද්ධව නැගිටින හැම බලවේගයක්ම පාගන්න ඕනේ, ආණ්ඩුව හිතන දේ විතරයි හරි, අනිත් හැමෝම හොරු කියලා… ආණ්ඩුවට වැරදිලා!
මං දැක්කා එක ඇමතිවරයෙක් කියනවා මේ නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු. මොකද එයාත් දන්නේ නැහැ නඩු තීන්දුව දෙන. නේද? මොකද මං අද වෙනකන් හිතන් හිටියේ නඩුව අහන්නේ ගරු අධිකරණය කියලා අපේ හාමුදුරුවනේ. අපි විශ්වාස කරන්නේ අධිකරණය. හැබැයි ඇමතිවරයා තමයි කියන්නේ හිරේ යනවා කියලා. ඒ කියන්නේ නඩුව ලියන්නේ එයාද?
ඔය නිසා තමයි ආදරණීය අම්මේ තාත්තේ අද මේ රටේ නීතිඥ සංගම්වලට සැකයක් තියෙන්නේ මේ අධිකරණ පද්ධතිය පිළිබඳව, ස්වාධීනත්වය පිළිබඳව. ඔය නිසා තමයි ජාත්‍යන්තර නීතිඥ සංගම්, UN එක මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕනේ කියන මතයක් අද ගොඩනගන්නේ.
අද වෛද්‍යවරයා පාරට ආවම ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ කියලා, වෛද්‍යවරයා හොරා බවට පත් වෙනවා. නීතිඥවරු අධිකරණයේ ස්වාධීනත්වය රකින්න ඕනේ කියලා කියනකොට ඔහු හොරෙක් බවට පත් කරනවා. උපාධිධාරියා රැකියාවක් ඉල්ලගෙන එනකොට ගහලා පන්නන්නේ. මැතිවරණයට කලින් නම් උපාධිධාරී ලවා ගෙයින් ගෙට යැව්වා. නේද? මේ හැම ගෙදරකටම උපාධිධාරීන්ට කිව්වා ගිහිල්ලා ඡන්දයක් හදන්න කියලා. අනේ ඒ ළමයිත් ගියා. ඇයි රැකියා දෙන පොරොන්දු වෙලා. දැන් රැකියා ඉල්ලන් එනකොට ගහලා පන්නනවා. පොලිසියෙන් දාලා.
සම්පූර්ණ ආණ්ඩුව ඒකාධිපති පාලනයකට ආණ්ඩුව අරගෙන යන්නේ. ඇහුම්කන් දෙන්න ඕනේ. ගොවි ජනතාව එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මේ ව්‍යාපාරිකයෝ එක්ක සාකච්ඡා කරලා තීන්දු ගන්න බැහැ. ගොවි මහත්තුරු එක්ක සාකච්ඡා කරන්න. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න.
එදා නම් කිව්වා පෙට්‍රල් මිල වැඩි වෙලා තියෙන්නේ ඇමතිවරයාගේ සාක්කුවට රුපියල් 150ක් යන නිසයි කිව්වා. දැන් අපේ හාමුදුරුවනේ ඒ ඇමති නැහැ. මේ පෙට්‍රල් මිල තව 200කින් 300කින් වැඩි වෙලා අද තිබ්බට වඩා. දැන් කාගේ සාක්කුවටද යන්නේ?
වරායෙන් කන්ටේනර් 323ක් පැන්නුවා. අද වෙනකන් පරීක්ෂණ නැහැ. හැබැයි අපේ පක්ෂයේ ලේකම්තුමා පොලිස්පතිතුමා බය කරා කියලා පොලිසියට එක්කන් ගියා. පොලිස්පති බය වෙලා ඉතින්, ඒ මනුස්සයා මොනවා කරන්නද?
වරායෙන් කුඩු කන්ටේනර් දෙකක් පැන්නුවා කිව්වා. ඒකටත් කිව්වේ රාජපක්ෂලා කියලා. මොකද නාමල්ට පුළුවන්නේ අත්සන ගහලා වරායේ කන්ටේනර් එළියට දාන්න. අපි අදත් ආණ්ඩුවෙන් අහනවා කවුද අත්සන ගැහුවේ කියලා. නැහැ, උත්තර නැහැ
බාල ගල්අඟුරු ගෙනාවා. අද වෙනකන් බාල ගල්අඟුරු ගෙනාපු සමාගම පිළිබඳව ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක වුණාද? නැහැ!
මුදල් අමාත්‍යාංශයේ ගිණුමටත් හොරෙක් පැනලා. ඒකට කියන්නේ හැකර් කෙනෙක් ආවලු. පොඩි ළමයිනේ ඉන්නේ, වැරදි ගිණුමට සල්ලි දාන්න. කෝටි ගාණක් වැරදි ගිණුමකට සල්ලි දාලා කියනවා සමාවෙන්න වැරදුනාලු, කවුද වගකියන්නේ?
අවසානයේ ඒ බරත් මේ රටේ ජනතාව පිට දානවා. ජීවන වියදම අවම කරන්න, ජීවන වියදම පාලනය කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා මැදිහත් වෙන්න. හැබැයි අපේ ආණ්ඩුව ඒකට මැදිහත් වෙන්න උවමනාවක් නැහැ අපේ හාමුදුරුවනේ.
ජනතාවගේ පීඩනය තේරුම් ගන්නේ නැති ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. දැන් මේ ගම්වලට යනකොට ගොවි මහත්තුරු හම්බවුණාම, මේ දවස්වල වී විකුණන්නේ 80යි 85යි නේද? ඔය ජනාධිපති ලේකම් කාර්යාලය 150ට වී ඉල්ලනවා ගිහිල්ලා දෙන්න. ජනාධිපතිතුමා වී ඉල්ලන්නේ 150ට. ඔව්, ඇයි කිව්වේ ඒ කාලේ.
පාර්ලිමේන්තුවේ 159 දෙනාගෙන් ප්‍රශ්න ඇහුවොත් ගොවියෝ ගැන ප්‍රශ්නයක් නැහැලු ගොවියාට ප්‍රශ්නයක් නැහැලු හැබැයි විපක්ෂයට ප්‍රශ්නයක් තියෙනවලු. ඒ පාරට එන්නේ හොරුලු.
ගොවියන්ගේ ප්‍රශ්නයක්, ධීවරයාගේ ප්‍රශ්නයක් ඇහුවමත් එහෙමයි. 159 දෙනාගේ ගෙවල්වල 150ට වී ඉල්ලනවා ඇති.
පොහොර ඉල්ලුවම, අපෝ තියෙනවා ඕන තරම් තියෙනවලු. ජනාධිපති කාර්යාලයේ ඇත්තේ පොහොර එහෙනම්. ගමේ නැහැ. පොහොර මිටිය 15,000යි, 18,000යි, 19,000යි, 20,000යි සමහර කාලවලට. මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇහුවම, නැහැ අපි පොහොර ඕන තරම් දීලා තියෙනවලු. කාටද දන්නේ නැහැ දුන්නේ. ගොවියන්ට නම් හම්බවෙලා නැහැ. නේද?
නේද අම්මේ, හම්බවුණාද? ඔය කියන ගණන්වලට පොහොර හම්බවුණේ නැහැනේ. 20,000ට විතර හම්බවුණා. ඒකත් අමාරුවෙන් ගන්න ඕනේ 20,000ක් දීලා. හැබැයි අපි අහනවා ලේකම් කාර්යාලයේ, හරි අඩුවට පොහොර තියෙනවා. එහෙමනේ හිතන් ඉන්නේ එයාලා.
එයාලගේ ලෝකය ඇතුලේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. එයාලා ජීවත් වෙන ලෝකයේ ඔක්කොම ප්‍රශ්න විසඳලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳලා නැහැ.
දැන් උසස් පෙළ ලියනවා දරුවෝ. මාස තුනකට කලින් විභාගය ගත්තා. සිලබස් කවර් කරලා නැහැ. එක පැත්තක අධික උෂ්ණත්වය, අනිත් පැත්තේ නාය යනවා, ගංවතුර ගලනවා. ඒ දරුවන්ට සාධාරණයක් නැහැ. හැබැයි දැන් මේ දරුවෝ විභාගය ඉවර වුණාට පස්සේ තමන්ගේ අනාගතය සැලසුම් කරන්නේ කොහොමද? විභාගය ලියන්න යනකොට දරුවන්ගේ මානසිකත්වය පිළිබඳව කල්පනා කරා. විභාගය ඉවර වෙනකොට පළවෙනි නිවුස් එක දකින්නේ කර්මාන්තශාලා වැහිලා ආයෝජකයෝ රටෙන් පිටවෙලා කියලා. මේ දරුවන්ගේ අනාගතය කවුද භාරගන්නේ? මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද?
අනිත් පැත්තෙන් මහා සංඝරත්නයට, පන්සලට දැඩිව පහරදෙනවා. පුදුම වෛරයක් තියෙන්නේ සංස්කෘතියත් එක්ක. රටක සංස්කෘතික වශයෙන් ගොඩනැගෙන එක ආණ්ඩුවට දරාගන්න බැහැ. අර 88/89 ආයුධවලින් කරන්න බැරි වෙච්ච දේ අද ඡන්දයෙන් බලයට ඇවිල්ලා කරන්න උත්සාහ කරනවා අපේ හාමුදුරුවනේ. මොවුන්ගේ උත්සාහය, ඉලක්කය සම්පූර්ණයෙන් රාජ්‍ය කඩන් වට්ටන්න. සම්පූර්ණයෙන් රාජ්‍ය කඩා වට්ටන්න!
සංස්කෘතියට ගැහුවම, ආගමට ගැහුවම, අපේකමට ගැහුවම, ඒ රටේ සංස්කෘතිය සම්පූර්ණයෙන් කඩන් වැටුණාම සමාජය බිඳවැටෙනවා. බිඳවැටිච්ච සමාජයක තමයි ජේවීපී එකට පාලනය කරන්න ඕනේ. ආර්ථික වශයෙන් බිඳවැටිච්ච රටක තමයි ජේවීපී එකට පාලනය කරන්න ඕනේ. ඇහුවම කියන්නේ ප්‍රශ්න විසඳිලා. විසඳිච්ච ප්‍රශ්නෙකුත් නැහැ, විසඳන්න ආපු කෙනෙකුත් නැහැ. මේක තමයි යථාර්ථය.
අපි මේ රටේ අලුත් පරම්පරාවක් එක්ක දේශපාලනය කරනවා. ඔබේ දරුවන් එක්ක, මේ වැඩිහිටියන්ගේ දරුවෝ එක්ක, මේ තරුණ පිරිස එක්ක. අද අපේ රැස්වීම්වලට ගමෙන් ගමට යනකොට, අපේ හාමුදුරුවනේ මේ කොට්ඨාස රැස්වීම්, අද විශාල තරුණ පිරිසක් එන්නේ ඇයි? ඔබට විශ්වාසයක් තියෙනවා ඔබේ අනාගතය ගොඩනගන්න පුළුවන් දැක්මක් තියෙනවා, සැලැස්මක් තියෙනවා, නූතනත්වයත් එක්ක ගමන් කරන්න පුළුවන්. මේ වැඩිහිටියන්ට විශ්වාසයක් තියෙනවා තමන්ගේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්න පුළුවන්.
මේ මායිම් ගම්මාන විදියට අපේ අම්මලා තාත්තලා මේ ගම්වල හැදුනේ. මේ වැඩිහිටි පරම්පරාව ජීවත් වුණේ මරණ බියෙන්, මායිම් ගම්මාන විදියට. අද ඔබේ දරුවෝ නිදහසේ හුස්ම ගන්නවා. ඒ නිදහසේ හුස්ම ගන්න දරුවාගේ මුනුපුරාට, මිනිපිරියට අලුත් ලෝකයක් හදලා දෙන්න ඕනේ. හොඳ ආර්ථිකයක් හදලා දෙන්න ඕනේ. ඔවුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕනේ.
ඒ සඳහා තමයි මේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ, මේ තරුණ පිරිස තමන්ගේ අනාගතය ගොඩනගන්න උත්සාහ කරන්නේ ඒ නිසා. ඒ සඳහා අවශ්‍ය දේශපාලන බලවේගයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය විදියට මගේ ආදරණීය අම්මේ තාත්තේ අපි ගොඩනැගෙන්නේ.
ඒ අවශ්‍ය වෙනස්කම් කරන්න, අවශ්‍ය වෙනස්කම් ටික කරන්න අපේකම රකින ගමන්, ආගම දහම ආරක්ෂා කරන ගමන්, රටේ ඒකීයභාවය ආරක්ෂා කරන ගමන්, රණවිරුවන්ට නිසි ගෞරවය දෙන ගමන්, මේ රටේ දෙමාපියන්ගේ දරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්ක ගමන් කරන්න පුළුවන් මේ රටේ දේශපාලන බලවේගයක් ඇත්නම්, ඒ ඔබ තමුන්නාන්සේලාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියන එකත් අපි මහත් ගෞරවයෙන් ආඩම්බරයෙන් මතක් කරනවා.







