මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ බව අනාවරණය කළේය.
පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධයක් වන ‘ෆිල්ග්රැස්ටිම්’, රජයේ රෝහල්වලින් පරිබාහිරව පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේදී අධික මිලක් වැයවන ඖෂධයක් බව පෙන්වා දුන් සභාපතිවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියමිත ප්‍රමිතීන්ට පටහැනිව ලේබල් රහිතව සපයන ඖෂධ කිසිසේත්ම රෝගී සත්කාරය සඳහා යොමු කළ නොහැකි බව අවධාරණය කළේය.
එවැනි ඖෂධ ලබාදීමෙන් රෝගීන්ට යම් අතුරු ආබාධයක් හෝ මරණයක් සිදුවුවහොත් ඊට සෘජුවම ඖෂධ නියාමන අධිකාරිය වගකිව යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ඉකුත් ජූලි මස 28 වැනිදා දිවයිනට ගෙන්වන ලද මෙම එන්නත් තොගයේ පිටත පෙට්ටිවල අදාළ විස්තර සටහන්ව තිබුණ ද, ඇතුළත වූ එන්නත් කුප්පි මත ඖෂධයේ නම, මාත්‍රාව, ලබාදිය යුතු ආකාරය, නිෂ්පාදිත දිනය මෙන්ම කල් ඉකුත්වීමේ දිනය ආදී අත්‍යවශ්‍ය කිසිදු තොරතුරක් සටහන්ව නොතිබූ බව අනාවරණය වී ඇත.
අදාළ සමාගම විසින් මෙම එන්නත් සඳහා මෙරටදී ලේබල් ඇලවීමට අවසර ඉල්ලා සිටිය ද නීතිමය හා ප්‍රමිතිගත ක්‍රමවේදය අනුව ඊට අවසර ලබා දිය නොහැකි බවත්, ඉන් අනතුරුව එම ඖෂධ තොගයේ ප්‍රමිතිය පරීක්ෂා කර බැලීමට අවසර ඉල්ලා සිටි බවත් සභාපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙවැනි ඖෂධවල තත්ත්ව පරීක්ෂාව අතිශය සංකීර්ණ බැවින් සාමාන්‍ය රසායනාගාරවලදී එය සිදු කළ නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය හැකි රසායනාගාර පිළිබඳව මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීම් කර ඇති බව ද කියා සිටියේය.
රෝගීන්ට අවශ්‍ය මෙම ඖෂධ තොග කඩිනමින් ගුවන් මඟින් හෝ වෙනත් ඇණවුම් කඩිනම් කිරීම මඟින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.







