මුලින් සලේ මහතා ලැප්ටොප් පරිගණකය තම දියණියගේ බව පවසමින් මුරපදය ලබාදීමෙන් වැළකී සිටි අතර, පසුව මුරපදය ලබා නොදී මගහැරීම දිගින් දිගටම කරගෙන ගිය බව රජයේ නීතිඥ පාර්ශවය අධිකරණයට පෙන්වා දුන්නේය. හිටපු නිලධාරියාගේ ස්ථානෝචිත ප්‍රශ්නාව සැලකිල්ලට ගෙන එම ලැප්ටොප් එක එම අවස්ථාවේදීම භාරයට ගත් බව ද අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.
මේ අතර, සුරේෂ් සලේ බුද්ධි නිලධාරියෙකු බැවින් ඔහු දින දෙකෙන් දෙකට මුරපද මාරු කරන පුරුද්දක් පැවති බවත්, එම නිසා සතියකට පෙර පැවති මුරපදය මතකයේ නොරැදෙන බවත්, එමෙන්ම මාස ගාණාවකට පෙර තිබූ මුරපද කෙසේවත් මතක නොමැති බවත් ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ ශවින්දු ප්‍රනාන්දු මහතා අධිකරණයට පවසා සිටියේය. “මේ වෙද්දී මුරපද මතකයේ රැඳී නොතිබීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ,” යැයි ද ඔහු අවධාරණය කළේය.
මෙම කරුණට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා, “ඔහු ඉන්නේ මේ මුර පද මතක නෑ කියන ස්ථාවරයේ. ජාතික බුද්ධි අංශ ප්‍රධානියෙකුට තිබිය යුතුම දෙයක් තමයි මතක ශක්තිය. එහෙම මතක ශක්තියක්වත් නැති පුද්ගලයෙක් මේ… නැත්නම් ඔහු හැදුවේ එතනත් වංචුවක් ගහලා මාරු වෙන්න. ඔහු මුරපදය දෙන්නේ නැතිනම්, ඒක කර ගැනීමට අපිට අවස්ථා තියෙනවා,” යැයි අධිකරණයට කරුණු පැහැදිලි කළේය.
මීට අමතරව, සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු ඉදිරිපත් වූ අතර, පසුගිය කාලයේදී ඔහුට හදවතට උපකරණයක් සවි කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළ බවත්, එය සඳහා රුපියල් ලක්ෂ හතළිහක් රාජ්‍ය මුදල් යොදාගෙන ඇති බවත් අනාවරණය විය. දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටි ඔහු දැන් සාමාන්‍ය වාට්ටුවක (හතළිස් දෙවන වාට්ටුවේ) ප්‍රතිකාර ලබන බව ද වාර්තා විය. එමෙන්ම, දැනට ඔහුගේ දත්වලට බෙහෙත් කරමින් සිටින අතර, ඔහුගේ දත් ගැටලුව හදවතේ තත්ත්වය සමඟ සම්බන්ධ බව වෛද්‍යවරුන් පවසන බව ද අධිකරණයට සඳහන් විය.
රැඳවුම් නියෝග භාවිත කරමින් සලේ මහතා සුපිරි ප්‍රතිකාර ලබන බවට චෝදනා කළ රජයේ පාර්ශවය, ලබන 28 වැනිදායින් පසුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ගෙන ගොස් සුපුරුදු පරිදි විමර්ශන හා ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද අධිකරණයට දැනුම් දුන්නේය.
මීට අමතරව, විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවත්, මේ සම්බන්ධයෙන් කරුණු දන්නා මාධ්‍යවේදීන් ද ඒවා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවත් රජයේ නීතිඥ පාර්ශවය අධිකරණයට වැඩිදුරටත් සඳහන් කළේය.







