ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව සඳහන් කලේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ, ඩීසල් ලීටරයක් වෙනුවෙන් සංස්ථාවට රුපියල් 528ක පිරිවැයක් දැරීමට සිදුවුවද එය අලෙවි කරනු ලබන්නේ රුපියල් 392කට බවයි.
ඩීසල් ලීටරයකට ලබාදෙන රුපියල් 70ක රජයේ සහනාධාරය අඩු කළද, සංස්ථාව එක් ඩීසල් ලීටරයකින් රුපියල් 66ක පාඩුවක් ලබයි.
එමෙන්ම පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 446ක් වුවත් එය රුපියල් 414කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකින් රුපියල් 52ක පාඩුවක් සිදුවන බවත්, සුපිරි ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 581ක් වන පසුබිමක එය රුපියල් 528කට අලෙවි කරමින් ලීටරයකින් රුපියල් 53ක පාඩුවක් දරන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත්, තෙල් පිරිපහදුවේ මෙහෙයුම් සහ ගුවන්යානා සඳහා ඉන්ධන අලෙවි කිරීම ඇතුළු අනෙකුත් අංශවලින් උපයන ලාභය හේතුවෙන් මෙම ඉන්ධන පාඩුව පියවා ගැනීමට හැකියාව ලැබී ඇති බව සභාපතිවරයා පැවසීය.
ලෝක වෙළඳපොළේ ඩීසල් මිල සියයට 91කින් සහ පෙට්‍රල් මිල සියයට 80කින් ඉහළ ගියද, මෙරට තුළ එම මිල ගණන් ඉහළ දමා ඇත්තේ පිළිවෙළින් සියයට 39.5කින් සහ සියයට 41.3කින් පමණක් බව ද ඔහු සිහිපත් කළේය.
පසුගිය පෙබරවාරි මාසයේදී ඩොලර් 69ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 115 දක්වා සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, මීට පෙර මෙරට ඉන්ධන සැපයුමෙන් සියයට 53ක් දැරූ විදේශීය සමාගම් සිය සැපයුම සීමා කිරීම හේතුවෙන්, මේ වන විට සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 80ක්ම සපුරාලීමට සිදුව ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බව ද හෙළි විය.
ඒ හේතුවෙන් මීට පෙර ඉන්ධන ආනයනය සඳහා මසකට වැය වූ ඩොලර් මිලියන 100 – 200ක මුදල පසුගිය මැයි මාසය වන විට ඩොලර් මිලියන 520ක් දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ද සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.







