Home Gossip News Room : ප්‍රියමාලිගේ පෙම්වතාගේ ගිණුම්වල ලක්ෂ 90ක්

News Room : ප්‍රියමාලිගේ පෙම්වතාගේ ගිණුම්වල ලක්ෂ 90ක්

1
0


මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තාට අයත් බැංකු ගිණුම් දෙකක රුපියල් ලක්ෂ 90ක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. ඒ, ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසුව ය.

ඒ අනුව, පිළිමතලාව සම්පත් බැංකු ශාඛාවක රුපියල් ලක්ෂ 30ක් ද ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඔහුගේ නමින් පවත්වාගෙන යන ව්‍යාපාරයකට අදාළ බැංකු ගිණුමක තවත් රුපියල් ලක්ෂ 60ක් ද තැන්පත් කර ඇති බව ප්‍රශ්න කිරීමේදී රහස් පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස ලක්ෂ 90ක මුදලක් තමාට ලැබුණේ කෙසේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකාර ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ BMW වර්ගයේ මෝටර් රථයක් විකිණීමෙන් එම මුදල තමාට ලැබුණු බව ය.

එම මුදලෙන් ඔහුගේ ප්‍රයෝජනය සඳහා රෙක්ස්ටන් වර්ගයේ ජීප් රියක් රුපියල් ලක්ෂ 120කට ඔහු මිල දී ගෙන ඇත. ඉන් මිතුරෙකුට ලක්ෂ පහක් දුන් බවත් ඉතිරි රුපියල් ලක්ෂ 90 ගිණුම් දෙකේ තැන්පත් කළ බව ත් ප්‍රශ්න කිරීමේදී ඉසුරු බණ්ඩාර පවසා තිබේ.

මීට වඩා වැඩි මුදලක් මොහුගේ ගිණුම්වල ඇති බවට සැකකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මෙම විමර්ශන අවසන් වනතෙක් මොහුට අයත් ගිණුම් තුනක ගිණුම් කටයුතු අත්හිටුවන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

එමෙන් ම, තිළිණි ප්‍රියමාලිගෙන් සැකකාර ඉසුරු බණ්ඩාර නමැත්තා විසින් ලබාගත් රුපියල් කෝටි 8ක මුදලක් මොහු විසින් ඩොලර් බවට පත් කිරීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර, සැකකාර ඉසුරු බණ්ඩාරගෙන් ප්‍රකාශ සටහන් කිරීමේදී අනාවරණය වී ඇති සාක්ෂි මත ඔහුගේ භාරයේ ඇති රෙක්ස්ටන් වර්ගයේ අංක CAC 5695 දරන ජීප් රථය මිල දී ගැනීමට තිළිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.

එබැවින් එම ජීප් රථය මිල දී ගැනීම සඳහා තිළිණි ප්‍රියමාලි විසින් වංචාකර ඇති මුදල් යොදවා ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් එම රථය වෙනත් අයෙකුට පැවරීම අධිකරණය හරහා නතර කිරීමට කටයුතු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. සැකකාර ඉසුරු බණ්ඩාර තිළිණි ප්‍රියමාලි සමග සම්බන්ධ වී වංචා කර ඇති විදේශ මුදල් සහ රන් භාණ්ඩ සොයාගැනීමටත් මේ දෙදෙනා ම සම්බන්ධ අය අනාවරණය කරගැනීමටත් විමර්ශන සිදුකෙරෙමින් පවතී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ උපදෙස් මත කණ්ඩායම් 11ක් මෙම මහ මූල්‍ය වංචාව සම්බන්ධ පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here