කොළඹ ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ඉන්ධන රැගෙන ගිය බවුසරයකට ජලය මිශ්ර වීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.
මෙම සිද්ධියට අදාළ ටැංකි රථයට ඉන්ධන පිරවීමට කටයුතු කරන ලද කොළොන්නාව නිමාවේ පිහිටි ප්රධාන ටැංකියට අදාළ ඉන්ධන තොග නෞකාවලින් ලබා ගැනීමේදී අනුමත ක්රමවේද අනුව කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මෙම සිද්ධිය ඉකුත් 19 වන දා වාර්තා වී ඇත.
ප්රධාන ටැංකිවලට නෞකාවලින් ඉන්ධන ලබා ගැනීමේදී ජලය යම් ප්රමාණයක් එකී ටැංකි තුළට රැස්වන අතර එම ජලය නිසි ක්රමවේදවලට අනුකූලව ඉවත් කිරීමට කටයුතු කරනු ලබයි.
අනතුරුව අදාළ ඉන්ධන නියැදි (සාම්පල්) රසායනාගාර පරීක්ෂණවලට ලක් කිරීමට කටයුතු කරනු ලබන අතර එකී ඉන්ධන නියමිත ප්රමිතියට අනුකූල බව තහවුරු වන්නේ නම් පමණක් පාරිභෝගිකයාට නිකුත් කිරීම සිදු කරනු ලබයි.
එසේ නමුත් ඉන්ධන ටැංකි රථවලට ඉන්ධන පිරවීම සඳහා ඇති නළ මාර්ගවල අධික වර්ෂාව හේතුවෙන් ටැංකි රථවල යම් ජල ප්රමාණයක් රැස්වීමට ඉඩකඩ ඇත. එවැනි අවස්ථාවලදී එකී ටැංකි රථ අපගේ ගබඩාව වෙතින් පිටවීමට පෙර නැවත පරික්ෂා කර බැලීමක් සිදුවන අතර එවැනි අවස්ථාවක ජලය අන්තර්ගත බවට තහවුරු වන්නේ නම් එම ජලය ඉවත් කිරීමට කටයුතු කරනු ලබයි.
යම් හෙයකින් එම අවස්ථාවේදී කිසියම් මගහැරීමක් සිදුව, එම තොගය ඉන්ධන පිරවුම් හල වෙත නිකුත් කර තිබේ නම් අපගේ අවසාන පාරිභෝගිකයා සුරක්ෂිත කිරීම සඳහා ටැංකි රථ මගින් ඉන්ධන පිරවුම් හල් වෙත ඉන්ධන බෑමට ප්රථම ටැංකි රථයේ ඉන්ධන නියැදි ලබාගැනීම අනිවාර්ය කර ඇත. එහිදී අදාළ ටැංකි රථය මඟින් ප්රවාහනය කරන ලද ඉන්ධන සමග ජලය මිශ්රව ඇත බව තහවුරු වුවහොත් එම තොගය නිකුත් කරන ලද ගබඩාව වෙත නැවත රැගෙන ඒමත් එකී ඉන්ධනවල ප්රමිතිය පිළිබඳ පූර්ණ රසායනාගාරවල පරික්ෂාව සිදු කිරීමත් අනිවාර්ය වන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.
ඒ අනුව, පාරිභෝගික ජනතාව වෙත කිසිදු අයුරකින් ජලය මිශ්රිත ඉන්ධන තොග ලැබීමට ඉඩකඩ නොමැති අතර නිසි ප්රමිතියෙන් යුතු ඉන්ධන සෑම විට ම ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්රියා කරන බව මෙයින් දන්වා සිටිමු. මෙම සිදුවීමේදී අදාළ ඉන්ධන පිරවුම්හල් හිමිකරු සහ එම කාර්ය මණ්ඩලය ඉතා වගකීමෙන් යුතුව සංස්ථාවේ නීති රීති හා ක්රියා පටිපාටියට අනුව කටයුතු කර ඇති බව එම සංස්ථාව නිවේදනය කරයි.