Home Local News Room : කළුතර 16 දැරිය මිය යාමේ සිද්ධිය: “දුරකතන ඇමතුමකින් පස්සේ...

News Room : කළුතර 16 දැරිය මිය යාමේ සිද්ධිය: “දුරකතන ඇමතුමකින් පස්සේ ඇය ජනේලයෙන් පැන්නා”

3
0

තමා සමග හෝටල් කාමරයේ රැඳී සිටි තරුණියට මිතුරෙකුගෙන් දුරකතන ඇමැතුමක් ලැබුණු බව ත් ඉන් අනතුරුව ඇය කලබලයෙන් දිවගොස් කාමරයේ ජනේලයෙන් පහළට පැන ඇති බව ත් කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසියට ප්‍රකාශ කර ඇත.

එමෙන් ම ඇය විසින් ම එසේ පැන දිවි නසාගෙන ඇති බව ත් තමා ඇයව තල්ලු කළ හෝ ඇය පහළට වැටුණු නොවූ බව ත් ඔහු ප්‍රකාශ කර තිබේ.

පොලිසිය පවසන අන්දමට ප්‍රධාන සැකකරුට මියගිය තරුණිය හඳුන්වා දී ඇත්තේ ඔවුන් සමග පැමිණි යුවළ බව ත් අනාවරණය වී ඇත.

කළුතර නගරයට පැමිණීමෙන් පසු සැකකරුගේ මිතුරා සිය 19 හැවිරිදි පාසල් සිසුවියට මේ බව කියා ඇගේ 16 හැවිරිදි මිතුරිය ද කැඳවාගෙන පැමිණ සැකකරුගේ මෝටර් රියට නැග ඇත.

පසුව සිවු දෙනා ම මෙම හෝටලයට ගොස් ඇති අතර ඉන් අනතුරුව පස්වන මහලේ කාමර දෙකක් වෙන් කරවාගෙන ඇති ඔවුන් ඉන් වායුසමීකරණය කරන ලද කාමරයේ සිට මත්පැන් පානය කළ බව සැකකරු පොලිසිය හමුවේ පවසා තිබේ.

පසුව 16 හැවිරිදි තරුණිය සමග පැමිණි පෙම් යුවළ හෝටලෙන් පිටව යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවිය සමග ප්‍රධාන සැකකරු එම කාමරයේ රැඳී සිට තිබේ.

ඒ මොහොතේ ඔවුන්ගෙන් වෙන්ව ගිය සැකකරුගේ මිතුරා 16 හැවිරිදි දැරියගේ ජංගම දුරකතනයට කතා කොට නොමනා විහිළුවක් කර ඇති අතර ඒ සමග එම සිසුවිය ජනේලය අසල ඇති පුටුවකට නැග ඉන් පහළට පැන්න බව සැකකරු පොලිසිය හමුවේ කියා ඇත.

පොලිසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බව ය.

අඩි 2ක් පළල අඩි දෙකක් පමණ උස එම ජනේලයෙන් කිසිවෙකු තල්ලු කරන්නට හෝ පහළ දැමීමට උත්සහ ගත්තේ නම් ජනේලයට හෝ වීදුරුවට හානි සිදුවන බවට පෙනී ගිය ද එවන් හානියක් ජනේලයට සිදුව නැතැයි පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මේ වන විට සැකකරු පවසන දේ මෙය බවත් එය සත්‍යය ද අසත්‍යය ද යන්න දැන ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් විමර්ශන පවත්වන නිලධාරියෙකු අවධාරණය කළේ ය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුගතපාල, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් විජේසිංහ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික සිල්වා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here